Apooru Iskole | Psychology, Counselling & Art Therapy Courses Sri Lanka

සන්සුන් බව වගා කරමින් ශක්තිය එලි දකිමින් මානසිකව වර්ධනය වන්න.

විෂාදය (Depression) යනු කුමක්ද?

Depression – විෂාදය

විෂාදය (Depression) යනු කුමක්ද?
අපි කෙනෙක්ට විෂාදය තියෙනවා කියලා හඳුනාගන්නේ ප්‍රධාන කාරණා දෙකක් මත;
කාලය: කිසිම පැහැදිලි හේතුවක් නැතුව හරි, එහෙමත් නැත්නම් යම්කිසි හේතුවක් නිසා ඇතිවුණු දැඩි දුකක් හෝ හිස්බවක් නොකඩවා සති දෙකකට වඩා දිගටම පවතිනවා නම්.
බලපෑම: ඒ තත්ත්වය නිසා තමන්ගේ එදිනෙදා වැඩකටයුතු… ඒ කියන්නේ කෑම කන එක, නිදාගන්න එක, රස්සාවට යන එක, ඉගෙන ගන්න එක වගේ සාමාන්‍ය ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල වෙනවා නම්… අන්න ඒක තමයි විෂාදය කියලා කියන්නේ.
උපදේශන ක්‍රියාවලියේදී අපි විශේෂයෙන්ම තේරුම් ගන්න ඕනේ දෙයක් තමයි, මේක නිකම්ම නිකන් ‘හිතේ දුර්වලකමක්’ නෙවෙයි. මේක අපේ මොළයේ තියෙන රසායනික ද්‍රව්‍ය… අපි කියන්නේ Neurotransmitters කියලා… විශේෂයෙන්ම සෙරොටොනින් (Serotonin), ඩොපමින් (Dopamine) වගේ රසායනිකවල ඇතිවෙන අසමතුලිතතාවයක් (Imbalance) නිසා ඇතිවෙන තත්ත්වයක්. ඒ කියන්නේ මේක හරියට දියවැඩියාව, ප්‍රෙෂර් වගේම ප්‍රතිකාර අවශ්‍ය කරන රෝගී තත්ත්වයක්.”

විෂාදයේ රෝග ලක්ෂණ (Symptoms)
1. මානසික සහ චිත්තවේගීය ලක්ෂණ (Psychological Symptoms):
ප්‍රධානම දේ තමයි කිසිම හේතුවක් නැතුව දැනෙන දැඩි දුක සහ හිස්බව.
කලින් ගොඩක් ආසාවෙන් කරපු දේවල් දැන් කිසිම ආසාවක් නැති වෙන එක. උදාහරණයක් විදිහට, කලින් හැමදාම යාළුවෝ එක්ක ක්‍රිකට් ගහන්න ගිය කෙනා, එහෙමත් නැත්නම් ආසාවෙන් චිත්‍රපට බලපු කෙනාට දැන් ඒ කිසිම දේකින් සතුටක් දැනෙන්නේ නැහැ.
තමන් ගැනම ලොකු වරදකාරී හැඟීමක්, ‘මගෙන් කාටවත් වැඩක් නැහැ’ කියන හැඟීම (Worthlessness) ඇතිවෙන එක.
2. ශාරීරික ලක්ෂණ (Physical Symptoms):
නින්දේ වෙනස්කම්.
කෑම රුචිය වෙනස් වෙනවා.
කිසිම මහන්සි වෙන වැඩක් නොකළත් දවස පුරාම ඇඟට දැනෙන අධික වෙහෙස (Fatigue) සහ වෛද්‍ය විද්‍යාත්මකව හොයාගන්න බැරි ඇඟේ පතේ අමාරු, හිසේ කැක්කුම් ඇතිවෙන එක.
3. චර්යාත්මක ලක්ෂණ (Behavioral Symptoms):
සමාජයෙන් අයින් වෙලා, කාත් එක්කවත් කතා කරන්නේ නැතුව හුදෙකලා වෙන එක.
පොඩි දේටත් ඉක්මනින් කේන්ති යන එක (Irritability).
අවධානය යොමු කරන්න අමාරු වීම.
මේ ලක්ෂණ අතරේ අපි උපදේශකයින් විදිහට ඉතාමත්ම අවධානයෙන් ඉන්න ඕන භයානකම ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි, ‘ජීවත් වෙලා වැඩක් නැහැ’, ‘මට මැරෙන්න තිබුණා නම් හොඳයි’ කියලා හිතෙන එක, එහෙමත් නැත්නම් සියදිවි නසාගැනීමේ සිතුවිලි (Suicidal Ideation) ඇතිවීම. මේ වගේ ලක්ෂණයක් කෙනෙක්ගෙන් දකිනවා නම් ඒක අනිවාර්යයෙන්ම හදිසි තත්ත්වයක් (Crisis) විදිහටයි අපි සලකන්න ඕනේ.”

විෂාදයට හේතු (Causes of Depression)
මේකට ප්‍රධාන සාධක 3ක් එකතු වෙනවා. (Biopsychosocial Model)
1. ජෛව විද්‍යාත්මක හේතු (Biological Factors):
පළවෙනි එක තමයි ජානමය බලපෑම (Genetics).
මොළයේ තියෙන සෙරොටොනින් (Serotonin) වගේ රසායනික ද්‍රව්‍යවල වෙනස්වීම.
2. මනෝවිද්‍යාත්මක හේතු (Psychological Factors):
Negative thinking patterns
ඒ වගේම කුඩා කාලයේදී මුහුණ දෙන්න සිදුවුණු කම්පන තත්ත්වයන් (Childhood Trauma),
තමන් ගැන තියෙන අඩු තක්සේරුව (Low self-esteem).
3. සමාජීය සහ පාරිසරික හේතු (Social and Environmental Factors):
හදිසියේ රස්සාව නැතිවීම, ආර්ථික ප්‍රශ්න, දික්කසාද වීම් හෝ ආදර සම්බන්ධතා බිඳ වැටීම් වගේ දේවල්.
විශේෂයෙන්ම කෙනෙකුට තමන්ගේ හිතේ තියෙන දේවල් කතා කරන්න, බෙදාගන්න කවුරුත් නැති වුණාම (Lack of social support), මේ තත්ත්වය ඉක්මනින්ම වර්ධනය වෙනවා. අන්න ඒ නිසයි උපදේශකයින් විදිහට අපේ කාර්යභාරය මේ තරම් වැදගත් වෙන්නේ.”

විෂාදයේ ප්‍රභේද (Types of Depression)

01. Major Depressive Disorder (MDD) ප්‍රධාන විෂාද තත්ත්වය
ඇමෙරිකානු මනෝචිකිත්සක සංගමයේ (DSM-5) නිර්ණායකවලට අනුව, අපි කෙනෙක්ට MDD තියෙනවා කියලා තහවුරු කරගන්නේ ප්‍රධාන කාරණා කිහිපයක් පදනම් කරගෙනයි
• කාලසීමාව (The 2-Week Rule):
මේ ලක්ෂණ අනිවාර්යයෙන්ම නොකඩවා සති දෙකකට වඩා තියෙන්න ඕනේ. යම් ප්‍රශ්නයක් නිසා දවසක් දෙකක් දුකින් හිටියා කියලා ඒක MDD වෙන්නේ නැහැ. දවසේ වැඩි කාලයක්, හැමදාම වගේ මේ දුක තියෙන්න ඕනේ.
• අත්‍යවශ්‍ය ලක්ෂණ (Core Symptoms):
මේ ප්‍රධාන ලක්ෂණ දෙකෙන් එකක් අනිවාර්යයෙන්ම තියෙන්නම ඕනේ.
නිරන්තරයෙන් දැනෙන දැඩි ශෝකය සහ හිස්බව (Depressed mood).
කලින් සතුටක් ලබපු කිසිම දෙයකින් දැන් සතුටක් නොලැබීම (Anhedonia).
• අතිරේක ලක්ෂණ (Additional Symptoms):
අර ප්‍රධාන ලක්ෂණවලට අමතරව මේ පහත කියන ලක්ෂණවලින් අඩුම තරමේ 4ක් වත් තියෙන්න ඕනේ (මුළු ලක්ෂණ 5ක් සම්පූර්ණ වෙන්න).
බර සහ කෑම රුචිය වෙනස් වීම: එක්කෝ කෑම එපා වෙලා බර ගොඩක් අඩු වෙනවා, නැත්නම් ආතතිය නිසා ගොඩක් කෑම කාලා බර වැඩි වෙනවා.
නින්දේ ගැටලු: රෑට කොහොමවත් නින්ද යන්නේ නැතිකම (Insomnia) හරි, දවල්ටත් නිදාගන්න එක (Hypersomnia).
ශාරීරික මන්දගාමී බව හෝ නොසන්සුන්කම: ඇවිදින එක, කතා කරන එක පවා ගොඩක් ස්ලෝ (slow) වෙනවා. නැත්නම් එක තැනක ඉන්න බැරුව නොසන්සුන් වෙනවා.
අධික වෙහෙස: කිසිම මහන්සි වෙන වැඩක් නොකළත් ඇඟට පණ නැතිකම.
වරදකාරී හැඟීම: ‘මම කිසිම වැඩකට නැති කෙනෙක්’ කියලා දැඩිව විශ්වාස කිරීම (Worthlessness).
අවධානය යොමු කිරීමේ අපහසුව: තීරණ ගන්න බැරිකම සහ මතකය අඩුවීම.
සියදිවි නසාගැනීමේ සිතුවිලි: මරණය ගැන නිතර සිතීම හෝ සැලසුම් කිරීම.
මේ ලක්ෂණ ඔක්කොම එකතුවෙලා කෙනෙක්ගේ එදිනෙදා ජීවිතය, ඒ කියන්නේ රස්සාව, පවුල් ජීවිතය, අධ්‍යාපනය 100% ක්ම කඩාකප්පල් කරනවා නම්… උපදේශකයින් විදිහට අපි අනිවාර්යයෙන්ම තේරුම් ගන්න ඕනේ මේ කෙනා ඉන්නේ ඉතාමත් අවදානම් තත්ත්වයක, මෙයාට මනෝවෛද්‍ය ප්‍රතිකාර සහ දැඩි මනෝවිද්‍යාත්මක සහායක් එකවර අවශ්‍යයි කියන එක.”
02. Persistent Depressive Disorder (Dysthymia) දීර්ඝකාලීන විෂාදය
මේ තත්ත්වය හඳුනාගන්න ප්‍රධාන නිර්ණායක තියෙනවා:
කාලසීමාව (The 2-Year Rule):
මේක තමයි වැදගත්ම දේ. මේ අඳුරු, දුක්බර ස්වභාවය වැඩිහිටියෙකුට නම් අනිවාර්යයෙන්ම අවුරුදු දෙකකට වඩා දිගටම තියෙන්න ඕනේ (කුඩා දරුවෙකුට හෝ යෞවනයෙකුට නම් අවුරුද්දක්). මේ අවුරුදු දෙක ඇතුළත මාස දෙකකට වඩා මේ ලක්ෂණ නැතිවෙලා තියෙන්න බැහැ.
රෝග ලක්ෂණ (Symptoms):
අර දිගුකාලීන දුකට අමතරව මේ කියන ලක්ෂණවලින් දෙකක් හෝ ඊට වැඩි ගණනක් තියෙන්න ඕනේ:
කෑම අරුචිය හෝ ආතතිය නිසා වැඩිපුර ආහාර ගැනීම.
නින්ද නොයාම හෝ වැඩිපුර නිදාගැනීම.
නිරන්තරයෙන් දැනෙන වෙහෙස සහ ශක්තියක් නැතිකම.
තමන් ගැන තියෙන අඩු තක්සේරුව (Low self-esteem).
අවධානය යොමු කිරීමේ සහ තීරණ ගැනීමේ අපහසුව.
අනාගතය ගැන කිසිම බලාපොරොත්තුවක් නැතිකම (Feelings of hopelessness).
මෙතන තියෙන භයානකම තත්ත්වය මොකක්ද දන්නවාද?
මේ අය එදිනෙදා වැඩ කරගෙන යන නිසා, සමාජයට පේන්නේ නැහැ මේක මානසික රෝගී තත්ත්වයක් කියලා. ගොඩක් අය හිතන්නේ මේක එයාලගේ පෞරුෂත්වයේ (Personality) ලක්ෂණයක් කියලා. ඒ නිසා මේ අයට ගොඩක් වෙලාවට වෛද්‍ය ප්‍රතිකාරවත්, උපදේශනයවත් ලැබෙන්නේ නැහැ.
අනෙක් භයානකම දේ තමයි, මේ විදිහට අවුරුදු ගාණක් Dysthymia තත්ත්වයෙන් ඉන්න කෙනෙකුට, එකපාරටම ලොකු ප්‍රශ්නයක් ආවොත්, ඒක උඩින්ම අර අපි කලින් කතා කරපු MDD තත්ත්වයත් එන්න පුළුවන්. මනෝවිද්‍යාවේදී අපි ඒකට කියනවා ‘Double Depression’ කියලා. ඒක සේවාදායකයෙකුට දරාගන්න ඉතාමත් අමාරු තත්ත්වයක්.”

03. Bipolar Depression (ද්වීධ්‍රැව අක්‍රමිකතාව ආශ්‍රිත විෂාදය)
මෙතනදී අන්ත දෙකක් තියෙනවා:
උන්මාදය (Mania / Hypomania): අර මම කලින් කිව්ව අධික සතුට, අධික ක්‍රියාකාරීත්වය සහ නින්ද අවශ්‍ය නොවන බව.
විෂාදය (Depression): අනිත් අන්තය තමයි සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටිලා ඇතිවෙන දැඩි විෂාද තත්ත්වය.
උපදේශකයින් විදිහට අපි මේක විශේෂයෙන්ම දැනගන්න ඕනේ ඇයි?
කෙනෙක් අපේ ළඟට උපදේශනයට එන්නේ අර ‘උන්මාදය’ (Mania) තියෙන කාලේ නෙවෙයි. මොකද ඒ කාලේ එයා ඉන්නේ හරිම සතුටින්නේ. එයා අපේ ළඟට එන්නේ අර ඊළඟට එන ‘Depression’ එකට කඩාගෙන වැටුණාමයි. අපි ඒ වෙලාවට එයා දිහා බලලා, සාමාන්‍ය Major Depressive Disorder (MDD) එකක් කියලා හිතලා, අතීතය ගැන හරියට ප්‍රශ්න කරන්නේ නැතුව වෛද්‍යවරයෙක් ළඟට යැව්වොත් ලොකු අනතුරක් වෙන්න පුළුවන්.
සාමාන්‍ය විෂාදයට දෙන ඖෂධ (Antidepressants) Bipolar රෝගියෙකුට දුන්නොත්, ඒකෙන් වෙන්නේ එයාගේ අර Depression එක එකපාරටම අනිත් අන්තයට (Mania එකට) ෂූට් වෙලා යන එක. ඒ නිසා උපදේශනයට එන සේවාදායකයාගෙන් අපි අනිවාර්යයෙන්ම අහන්න ඕනේ, ‘ඔබේ ජීවිතේ මීට කලින් කිසිම හේතුවක් නැතුව අසාමාන්‍ය විදිහට සතුටින්, අධික ක්‍රියාකාරීත්වයෙන් හිටපු කාලයක් තිබිලා තියෙනවාද?’ කියන එක. ඒ හරහා තමයි අපි Bipolar Depression එකක්ද නැද්ද කියලා නිවැරදිව තීරණය කරන්නේ.”
04. Postpartum Depression
මෙන්න මේ තත්ත්වය තමයි පශ්චාත් ප්‍රසව විෂාදය (PPD) කියන්නේ. මේක හරියටම අඳුරගන්න නම් අපි ‘Baby Blues’ සහ ‘PPD’ කියන දෙකේ වෙනස අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ.
Baby Blues (ප්‍රසවයෙන් පසු සාමාන්‍ය තත්ත්වය):
දරුවෙක් ලැබුණාම කාන්තාවකගේ ඇඟේ ඊස්ට්‍රජන් (Estrogen) සහ ප්‍රොජෙස්ටෙරෝන් (Progesterone) කියන හෝමෝන මට්ටම් එකපාරටම විශාල වශයෙන් පහළ බහිනවා. ඒ නිසා දරුවා ලැබිලා මුල් දවස් කිහිපය ඇතුළත පොඩි දුකක්, අඬන්න හිතෙන ගතියක්, කේන්තියක් එන එක ඉතාම සාමාන්‍යයි. අම්මලාගෙන් 80% කටම මේක එනවා. හැබැයි මේක සති දෙකක් යද්දී ඉබේම හරියනවා.
Postpartum Depression (PPD):
හැබැයි අර ලක්ෂණ සති දෙකකට පස්සෙත් අඩු වෙන්නේ නැතුව, තවත් වැඩිවෙනවා නම්… අන්න ඒක PPD තත්ත්වයක්.
මේකෙදි අපිට දකින්න ලැබෙන ප්‍රධාන ලක්ෂණ මොනවාද?
දරුවා සමඟ බැඳීමක් නැතිකම: දරුවාව වඩාගන්න, කිරි දෙන්න කිසිම කැමැත්තක් නැහැ. දරුවා කෙරෙහි ආදරයක් දැනෙන්නේ නැහැ.
දැඩි වරදකාරී හැඟීම: ‘මම හොඳ අම්මා කෙනෙක් නෙවෙයි’, ‘දරුවාට මගෙන් හානියක් වෙයි’ කියලා නිතරම හිතමින් තමන්ටම දොස් පවරා ගැනීම.
අධික බිය සහ ආතතිය (Panic attacks): දරුවාගේ සෞඛ්‍යය ගැන අනවශ්‍ය විදිහට බිය වීම.
හානි කිරීමේ සිතුවිලි: සමහර දරුණු අවස්ථාවලදී (Postpartum Psychosis තත්ත්වයට ගියොත්), තමන්ට හෝ දරුවාට හානියක් කිරීමේ සිතුවිලි පවා එන්න පුළුවන්. මේක ඉතාමත් හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය අවස්ථාවක්.
05. Smiling Depression (සැඟවුණු විෂාදය)
ඇත්තටම මනෝවිද්‍යාවේදී DSM-5 එකේ ‘Smiling Depression’ කියලා නිල නමක් නැහැ. ගොඩක් වෙලාවට මේ අය අයිති වෙන්නේ ‘High-functioning Depression’ එහෙමත් නැත්නම් ‘Atypical Depression’ කියන කාණ්ඩයටයි. ඒ කියන්නේ ඇතුළතින් සම්පූර්ණයෙන්ම විෂාදයට පත්වෙලා හිටියත්, බාහිරින් සාමාන්‍ය විදිහට තමන්ගේ රාජකාරි කරගෙන යන්න පුළුවන් (High-functioning) තත්ත්වයකයි එයාලා ඉන්නේ.

 

ඇයි මේ තත්ත්වය මේ තරම් භයානක?
අපි කලින් කතා කරපු MDD (ප්‍රධාන විෂාදය) තියෙන කෙනෙකුට ඇඳෙන් නැගිටින්නවත් පණක් නැහැනේ. ඒ නිසා එයාලට සියදිවි නසාගන්න එක සැලසුම් කරන්නවත් ඇඟේ ශක්තියක් (Energy) නැහැ.
හැබැයි Smiling Depression තියෙන කෙනාට එහෙම නැහැ. එයාට හොඳට ශක්තිය තියෙනවා. ඒ නිසා සියදිවි නසාගැනීමේ වැඩිම අවදානමක් (Highest suicide risk) තියෙන්නේ මේ අයටයි.
කවුරුත් හිතන්නේ නැති වෙලාවක එයාලා ජීවිතේ නැති කරගන්නවා. ඊටපස්සේ වටේ ඉන්න අය කියනවා, ‘අනේ ඊයේ හවසත් මාත් එක්ක හොඳට හිනාවෙලා කතා කර කර හිටියේ, එයාට එහෙම ප්‍රශ්නයක් තිබුණා කියලා අපි දන්නෙවත් නෑ’ කියලා.
උපදේශකයින් විදිහට අපේ කාර්යභාරය කුමක්ද?
විෂාදයට ප්‍රතිකාර කරද්දී අපි ප්‍රධාන කුළුණු දෙකක් භාවිතා කරනවා. මේ කුළුණු දෙකම එකට වැඩ කරද්දී තමයි සාර්ථකම ප්‍රතිඵල ලැබෙන්නේ.
1. වෛද්‍ය ප්‍රතිකාර (Psychiatric Treatment):
අපි කලින් කතා කළානේ විෂාදය කියන්නේ මොළයේ රසායනික (උදා: Serotonin) වෙනස්වීමක් කියලා. අන්න ඒ රසායනික අසමතුලිතතාවය නැවත යථා තත්ත්වයට පත් කරන්න මනෝවෛද්‍යවරයෙක් විසින් ඖෂධ (Antidepressants) ලබා දෙනවා.
උපදේශකයින් විදිහට අපි ඉතාම පැහැදිලිව දැනගන්න ඕන දෙයක් තමයි, අපි ඖෂධ නියම කරන්නේ නැහැ. අපේ ළඟට එන සේවාදායකයෙක් (Client) අර අපි කලින් කතා කළා වගේ Major Depressive Disorder (MDD) හෝ සියදිවි නසාගැනීමේ අවදානමක ඉන්නවා කියලා අපිට තේරුණොත්, අපේ පළමු වගකීම තමයි කිසිම ප්‍රමාදයකින් තොරව ඔහුව මනෝවෛද්‍යවරයෙක් වෙත යොමු කරන එක (Referral).
2. මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර සහ උපදේශනය (Psychological Therapies):
ඖෂධවලින් මොළයේ රසායනික වෙනස්කම් හදද්දී, අපි උපදේශකයින් විදිහට කරන්නේ ඒ පුද්ගලයාගේ මනසේ තියෙන ‘ඍණාත්මක සිතුවිලි රටාව’ වෙනස් කරන එකයි. ඒ සඳහා අපි ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන සාර්ථකම ක්‍රමය තමයි සංජානන චර්යාත්මක ප්‍රතිකාරය (CBT – Cognitive Behavioral Therapy).

3. ජීවන රටාවේ වෙනස්කම් (Lifestyle Modifications):
දිනපතා ව්‍යායාම කිරීම (මේකෙන් ස්වභාවිකවම සතුට ගෙනෙන එන්ඩොර්ෆින් – Endorphins හෝමෝන ශ්‍රාවය වෙනවා).
සිහිය පිහිටුවීමේ අභ්‍යාස (Mindfulness and Meditation) හරහා වර්තමාන මොහොතේ ජීවත් වෙන්න පුරුදු කිරීම.
තමන්ට ආදරය කරන, සහයෝගය දෙන පවුලේ අය සහ යහළුවන්ගෙන් සමන්විත සහය පද්ධතියක් (Support system) ගොඩනඟා ගැනීම.”

හදිසි උපකාර සේවා (Helplines):
ඒ වගේම, අපි අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ අපේ සේවාදායකයෙක් යම්කිසි හදිසි අවදානම් තත්ත්වයක (Suicidal crisis) ඉන්නවා නම් සම්බන්ධ කරගත යුතු ආයතන මොනවාද කියලා. කරුණාකරලා මේ අංක ඔයාලා ළඟ තියාගන්න.
1926 – ජාතික මනෝවිද්‍යා විද්‍යායතනයේ (NIMH) ක්ෂණික ඇමතුම් අංකය.
1333 – CCC Line (පැය 24 පුරාම නොමිලේ උපදේශනය ලබාදෙන සේවාව).
011 269 2909 – ශ්‍රී ලංකා සුමිත්‍රයෝ සංවිධානය.

📚 තවදුරටත් ඉගෙන ගන්න

මෙම කරුණ පිළිබඳව තවදුරටත් ගැඹුරින් ඉගෙන ගන්න Apooru Iskole Professional Courses සමඟ එක්වන්න.

🎨 Art Therapy Courses – Art Therapy පිළිබඳ ප්‍රායෝගික දැනුම සහ ක්‍රියාකාරකම් සමඟ ඉගෙන ගන්න.
🎭 Role Play & Case Study Training – සැබෑ අවස්ථා ආශ්‍රිත Case Studies සහ Role Play මඟින් ප්‍රායෝගික කුසලතා වර්ධනය කරගන්න.
💻 LMS Learning – පාඩම්, වීඩියෝ සහ අධ්‍යයන සම්පත් සමඟ Online Learning වෙත එක්වන්න.

👉 [Art Therapy Courses] | [Role Play & Case Study Courses] | [Student LMS එකට Join වන්න]

Apooru Iskole – දැනුමෙන් වෘත්තියක්.

apooruiskole.com

 

 

🔥 Special Offers Limited
Scroll to Top