Apooru Iskole | Psychology, Counselling & Art Therapy Courses Sri Lanka

සන්සුන් බව වගා කරමින් ශක්තිය එලි දකිමින් මානසිකව වර්ධනය වන්න.

Abraham Maslow’s Hierarchy of Needs…. ඒබ්‍රහම් මාස්ලෝ ගේ අවශ්‍යතා ධූරාවලිය…  

01.හැදින්විම

මනෝවිද්‍යාව  නැතහොත් psychology යන වචනය සෑදී ඇත්තේ psyche සහ logos යන ග්‍රීක වචන වලිනි. Psyche යන්නෙන් ආත්මය, මනස යන අර්ථය ද “Logos” යන්නෙන් අධ්‍යයනය හෝ හැදෑරීම යන අර්ථද පැහැදිලි කරයි ඒ අනුව මනෝ විද්‍යාව යනු මනස පිළිබඳ අධ්‍යයනය යැයි කිව හැකිය.

 

කාලයත් සමඟ විවිධ මනෝවිද්‍යාඥ කණ්ඩායම් මිනිස් හැසිරීම් පැහැදිලි කිරීම සඳහා අනන්‍ය වූ ක්‍රමවේදයන් දියුණු කළහ. මේවා මනෝවිද්‍යාවේ ‘ගුරුකුල’ (Schools of Thought) ලෙස හැඳින්වේ. ව්‍යුහවාදය, කාර්යබද්ධවාදය, චර්යාවාදය, මනෝවිශ්ලේෂණවාදය සහ මානුෂවාදය , සංදෘෂ්ටිකවාදි වැනි විවිධ ගුරුකුල බිහිවිය. සෑම ගුරුකුලයක්ම වෙනස්ම දෘෂ්ටිකෝණයක් ඉදිරිපත් කරයි; උදාහරණයක් ලෙස, මනෝවිශ්ලේශනවාදය මිනිස් මනස විග්‍රහ කරන අතර , චර්යාවාදය බාහිරින් පෙනෙන ක්‍රියාවන් ගැන පමණක් අවධානය යොමු කරන කෙරේ. එ අනුව,

මානසික රෝග හෝ අසාමාන්‍ය හැසිරීම් ගැන සොයන අනෙකුත් සිද්ධාන්ත මෙන් නොව, මෙ අතරින් මානුෂවාදී මනෝවිද්‍යාව අවධානය යොමු කරන්නේ නිරෝගී මිනිසෙකුට වර්ධනය විය හැක්කේ කෙසේද සහ ඔවුන්ගේ උපරිම දක්ෂතාවලට ළඟා විය හැක්කේ කෙසේද යන්න පිළිබඳවයි. එසේනම් මානුෂවාදය යනු මිනිසාගේ වටිනාකම, විභවය (හැකියාව) සහ යහපත්කම අවධාරණය කරන මනෝවිද්‍යාත්මක ප්‍රවේශයකි. ඒබ්‍රහම් මාස්ලෝගේ අවශ්‍යතා ධුරාවලිය ගොඩනැගී ඇත්තේ මේ මානුෂවාදී ලෝක දෘෂ්ටිය මතය. ඔහු විශ්වාස කළේ සෑම පුද්ගලයෙකු තුළම වර්ධනය වීමට, දියුණු වීමට සහ ‘ස්වයං-සාක්ෂාත්කරණය’ (පිරමීඩයේ ඉහළම මට්ටම) කරා ළඟා වීමට සහජ ආශාවක් ඇති බවයි. මෙම සිද්ධාන්තයෙන් පෙන්වා දෙන්නේ පුද්ගලයෙකුගේ මූලික අවශ්‍යතා සපුරා ඇති විට, ඔවුන්ගේ මානුෂීය හැකියාවන් ස්වභාවිකවම ඉස්මතු වන බවයි.

  1. එබ්‍රහම් මැස්ලෝ: ජීවන තොරතුරු සහ මනෝවිද්‍යාත්මක දායකත්වය

එබ්‍රහම් මැස්ලෝ උපන්නේ 1908 අප්‍රේල් 1 වෙනිදා ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේදීයි.

ඔහු රුසියාවෙන් ඇමරිකාවට සංක්‍රමණය වූ යුදෙව් (Jewish) පවුලක දරුවන් හත්දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමල් දරුවාය. ඔහුගේ ළමා කාලය එතරම් සතුටුදායක එකක් නොවන අතර, පවුලේ තිබුණු ආර්ථික අපහසුතා සහ සමාජයේ තිබුණු යුදෙව් විරෝධී ආකල්ප නිසා ඔහු හුදකලා දරුවෙකු ලෙස හැදී වැඩුනාය.ඔහු විස්කොන්සින් විශ්වවිද්‍යාලයෙන් (University of Wisconsin) මනෝවිද්‍යාව පිළිබඳ ප්‍රථම උපාධිය, පශ්චාත් උපාධිය සහ ආචාර්ය උපාධිය (Ph.D.) ලබාගන්නා ලදි.

 

එබ්‍රහම් මැස්ලෝව හඳුන්වන්නේ “මානුශවාදි මනෝවිද්‍යාවේ පියා” (Father of Humanistic Psychology) විදිහටයි. ඔහු කිව්වේ මිනිස්සු කියන්නේ ලෙඩෙක් හෝ යන්ත්‍රයක් නෙවෙයි, මිනිසා තුළ සහජයෙන්ම යහපත්කම, ආදරය, නිර්මාණශීලීත්වය සහ දියුණු වීමේ ආශාව තියෙනවා කියලා. මේ නිසා ඔහු සිය විෂය පථය “තෙවන බලවේගය” (Third Force) හෙවත් මානුශවාදි මනෝවිද්‍යාව ලෙස නම් කරන ලදි.

  1. මැස්ලෝගේ ප්‍රධානතම සොයාගැනීම් සහ සංකල්පය
  • මිනිස් අවශ්‍යතා ධුරාවලිය (Hierarchy of Needs)

ඔහු 1943 දී ඉදිරිපත් කළ මේ සිද්ධාන්තයෙන් පෙන්වා දුන්නේ මිනිසෙකු ක්‍රියාත්මක වෙන්නේ (Motivate වෙන්නේ) අවශ්‍යතා මාලාවක් පදනම් කරගෙන බවයි. පහළ මට්ටමේ අවශ්‍යතා (කෑම, බීම, ආරක්ෂාව) ඉටුනොවී මිනිසෙකුට ඉහළ මට්ටමේ අවශ්‍යතා (ගෞරවය, ස්වයං-සාක්ෂාත් කර ගැනීම) කරා යා නොහැකි බව ඔහු පිරමීඩයක් ඇසුරින් පෙන්වා දුන්නාය.

එබ්‍රහම් මැස්ලෝගේ අවශ්‍යතා ධුරාවලියේ මට්ටම් 05

1.කායික අවශ්‍යතා (Physiological Needs)

මේවා මිනිසාගේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වන ජීව විද්‍යාත්මක අවශ්‍යතාවයන් වේ. මෙම අවශ්‍යතා සපුරා නොමැති නම්, මිනිස් සිරුරට නිසි ලෙස ක්‍රියාත්මක විය නොහැක.

උදාහරණ: ආහාර, ජලය, වාතය, නින්ද සහ ඇඳුම් පැළඳුම්.

  1. ආරක්ෂණ සහ සුරක්ෂිතතා අවශ්‍යතා (Safety and Security Needs)

කායික අවශ්‍යතා සපුරාලීමෙන් පසු, මිනිසුන් ඔවුන්ගේ එදිනෙදා ජීවිතය තුළ ආරක්ෂාව, පිළිවෙල සහ ස්ථාවරත්වයක් අපේක්ෂා කරයි.

උදාහරණ: රැකියා සුරක්ෂිතතාව, මූල්‍ය ස්ථාවරත්වය, සෞඛ්‍යය සහ යහපැවැත්ම, සහ ජීවත් වීමට ආරක්ෂිත ස්ථානයක්.

  1. ආදරය සහ අයිතිවාසිකම පිළිබඳ අවශ්‍යතා (Love and Belongingness Needs)

මෙම මට්ටමට මිනිසා සතු චිත්තවේගීය සබඳතා, සමාජීය සබැඳියාවන් සහ යම් කණ්ඩායමක කොටස්කරුවෙකු වීමට ඇති අවශ්‍යතාවය ඇතුළත් වේ.

උදාහරණ: මිත්‍රත්වය, පවුල් සබඳතා, ආදර සබඳතා සහ සමාජ කණ්ඩායම් හෝ සමාජ ශාලාවල සාමාජිකයෙකු වීම.

  1. ආත්ම අභිමානය පිළිබඳ අවශ්‍යතා (Esteem Needs)

මෙම අවශ්‍යතා පුද්ගලයෙකුගේ ආත්ම ගෞරවය, ජයග්‍රහණ, කීර්තිය සහ අන් අයගෙන් ලැබෙන පිළිගැනීම සඳහා ඇති ආශාව සමඟ සබැඳී පවතී.

උදාහරණ: ආත්ම විශ්වාසය, අන් අයගෙන් ලැබෙන ගෞරවය, සමාජ තත්ත්වය සහ පෞද්ගලික ජයග්‍රහණ.

  1. ස්වයං-සාක්ෂාත් කර ගැනීමේ අවශ්‍යතා (Self-Actualization Needs)

මෙය මැස්ලෝගේ අවශ්‍යතා ධුරාවලියේ ඉහළම මට්ටමයි. මෙයින් අදහස් කරන්නේ පුද්ගලයෙකු සතු උපරිම විභවතාවය/හැකියාව හඳුනා ගැනීම සහ පෞද්ගලික වර්ධනයක් ළඟා කර ගැනීමයි.

උදාහරණ: වෘත්තීය ඉලක්ක සපුරා ගැනීම, දක්ෂතාවලින් උපරිම ප්‍රයෝජන ගැනීම (කලාව, සංගීතය, ලේඛන කලාව) සහ අභ්‍යන්තර සාමය හෝ ජීවිතයේ සැබෑ අරමුණ සොයා ගැනීම

  1. සිද්ධාන්තයේ වැදගත්කම සහ ප්‍රායෝගික භාවිතය
  2. සේවා ස්ථානය සහ කළමනාකරණය තුළ භාවිතාවන ආකාරය

කළමනාකරුවන් සේවකයන් දිරිමත් කිරීම (Motivation) සඳහා මාස්ලෝගේ ධුරාවලියේ විවිධ මට්ටම් ප්‍රායෝගිකව ගළපා ගනු ලබන්නේ ,

කායික අවශ්‍යතා (Physiological Needs) – සේවකයෙකුට තමන්ගේ මූලික ජීවන අවශ්‍යතා (කෑම, බීම, නිවාස) සපුරා ගැනීමට සරිලන සාධාරණ මූලික වැටුපක් (Basic Salary) ලබා දීම. මීට අමතරව සේවා ස්ථානයේ පිරිසිදු පානීය ජලය, ප්‍රමාණවත් විවේක කාලයක් සහ කෑම කාමර පහසුකම් සැපයීම.

ආරක්ෂණ අවශ්‍යතා (Safety Needs) –  රැකියාවේ ස්ථාවරභාවය තහවුරු කිරීම (Job Security) සහ වෛද්‍ය රක්ෂණ (Health Insurance), විශ්‍රාම වැටුප් ක්‍රමවේද (EPF/ETF) හඳුන්වා දීම. කර්මාන්තශාලා වැනි පරිසරවලදී අනතුරුදායක නොවන, සෞඛ්‍යාරක්ෂිත සේවා වටපිටාවක් නිර්මාණය කිරීම.

සමාජයීය අවශ්‍යතා (Social Needs) – සේවකයන් අතර සුහදතාවය වර්ධනය කිරීමට ආයතනික චාරිකා (Annual Trips), ක්‍රීඩා උත්සව (Sports Days) සංවිධානය කිරීම සහ කණ්ඩායම් හැඟීමෙන් වැඩ කළ හැකි පරිසරයක් (Teamwork) සැපයීම.

ආත්ම අභිමානය පිළිබඳ අවශ්‍යතා (Esteem Needs) – දක්ෂ සේවකයන් ඇගයීම සඳහා “මාසයේ හොඳම සේවකයා” (Employee of the Month) වැනි සම්මාන දීම, තනතුරු උසස්වීම් (Promotions) සහ ඔවුන්ගේ අදහස්වලට තීරණ ගැනීමේදී වටිනාකමක් දීම.

ආත්ම-සාක්ෂාත්කරණය (Self-Actualization) – සේවකයා සතු උපරිම දක්ෂතාවයෙන් ප්‍රයෝජන ගැනීමට හැකි වන පරිදි නව නිපැයුම් කිරීමට අවස්ථාව දීම, පර්යේෂණ කටයුතුවලට ඉඩ දීම සහ ඉහළ වෘත්තීය පුහුණු පාඨමාලා (Training and Development) සඳහා අනුග්‍රහය දැක්වීම.

මෙ ආකාරයට සේවකයාගෙ අවශ්‍යතා පරිදි මුලික අවශ්‍යතාවයද නැතහොත් ආත්ම අභිමානය අවශ්‍යතාව ඇති සේවකයන්ට උසස්වීම් වරප්‍රසාද ලබාදිම සදහා නිවරදි ක්‍රමානුකූල මැදිහත්වීමක් මැස්ලෝගෙ අවශ්‍යතා ධුරාවලිය ඔස්සේ ප්‍රායෝගිකව සිදු කල හැකි  බවයි.

  1. අධ්‍යාපනය තුළ භාවිතය

පාසල් සහ ගුරුවරුන් විසින් සිසුන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීමට මෙම සිද්ධාන්තය ප්‍රායෝගිකව යොදා ගනී:

මූලික පහසුකම් සහ ආරක්ෂාව – බඩගින්නේ සිටින දරුවෙකුට ඉගෙනීමට අවධානය දිය නොහැකි නිසා රජය සහ පාසල් මඟින් “නිදහස් දිවා ආහාර වේලක්” (School Mid-day Meal) ලබා දීම. එමෙන්ම දරුවාට පාසල තුළ කායික හෝ මානසික වධහිංසාවලින් තොර (Safe Environment) පරිසරයක් සහතික කිරීම.

සමාජයීය සහ අභිමාන අවශ්‍යතා- සිසුන්ව කොන් නොකර සැමට සමස්ත සහභාගිත්වය ලබා දීම, ක්‍රීඩා සහ බාහිර ක්‍රියාකාරකම් හරහා මිතුදම් වර්ධනය කිරීම. ශිෂ්‍යයා පෙන්වන කුඩා දක්ෂතාවයක් වුවද පන්තිය ඉදිරියේ අගය කරමින් (Appreciation) ඔවුන්ගේ ආත්ම විශ්වාසය ඉහළ නැංවීම.

මෙම සිද්ධාන්ත ප්‍රායෝගිකව පාසල තුල ක්‍රියාත්මක කිරීම මගින් පාසල් දරුවාගෙ දක්ශතා ගොඩනැගිම, දෙනිකව පාසල් පැමිනිම හා සුරක්ෂිත වටපිටාවක් තහවුරු වනු ඇත.

  1. අලෙවිකරණය සහ ව්‍යාපාර තුළ භාවිතය

ව්‍යාපාරිකයන් තමන්ගේ පාරිභෝගිකයා (Target Audience) ඉලක්ක කරගෙන භාණ්ඩ වෙළඳපොළට හඳුන්වා දීමට සහ ප්‍රචාරණ වෙළඳ දැන්වීම් (Advertisement) නිර්මාණය කිරිමටද මැස්ලෝගෙ සිද්ධාන්තය යොදා ගනී.

අවශ්‍යතාව මත පාරිභෝගිකයාට උසස් මට්ටමෙ මැදිහත්විමක් මැස්ලෝගෙ අවශ්‍යතා ධුරාවලිය ඔස්සේ ප්‍රායෝගිකව මෙයින් සිදුවන බව පෙනෙ.

  1. පුද්ගල සංවර්ධනය සහ උපදේශනය තුළ භාවිතය

ස්වයං තක්සේරුව (Self-Assessment) – පුද්ගලයෙකු ලෙස තමන් ජීවිතයේ දැනට සිටින්නේ කුමන මට්ටමකද සහ තමන්ගේ ඊළඟ ඉලක්කය කුමක්ද කියා හඳුනා ගැනීමට (උදා: ආර්ථිකය ස්ථාවර කරගත් පසු සමාජ සේවා හෝ කලාව වැනි ආත්ම-සාක්ෂාත්කරණ අවශ්‍යතා වෙත යොමු වීම).

මනෝවිද්‍යාත්මක උපදේශනය (Counseling) – උපදේශකයින් විසින් පුද්ගලයෙකු මානසික ආතතියෙන් පෙළීමට හේතුව සොයන්නේ මෙම ධුරාවලියෙනි. යමෙකුගේ මූලික ආරක්ෂාව හෝ සමාජයීය (ආදරය/පිළිගැනීම) අවශ්‍යතා බිඳ වැටී ඇති විට, ඔවුන්ට මානසික උපදෙස් දෙමින් ධුරාවලියේ ඉහළට ඒමට මඟ පෙන්වයි.

මාස්ලෝගේ සිද්ධාන්තය හුදෙක් පොතට පමණක් සීමා වූවක් නොවේ. මිනිසෙකු වැඩ කරන්නේ, ඉගෙන ගන්නේ හෝ භාණ්ඩයක් මිලදී ගන්නේ ඇයි යන “මූලික හේතුව” (The ‘Why’) නිවැරදිව හඳුනාගෙන, ඊට ගැළපෙන විසඳුම් දීමට ලොව පුරා කළමනාකරුවන්, ගුරුවරුන් සහ ව්‍යාපාරිකයන් අදටත් මෙම ආකෘතිය ප්‍රායෝගිකව උපකාරී වන බව මනාව පැහැදිලි වේ.

  1. නිගමනය

අවසාන වශයෙන්, ඒබ්‍රහම් මැස්ලෝගේ අවශ්‍යතා ධුරාවලිය (Hierarchy of Needs) මිනිස් පෙළඹවීම සහ හැසිරීම තේරුම් ගැනීම සඳහා ඉතා වටිනා රාමුවක් සපයයි. එයින් පෙනී යන්නේ මිනිස් අවශ්‍යතා මූලික පැවැත්මේ සිට පුද්ගලික වර්ධනය දක්වා පියවරෙන් පියවර ඉදිරියට යන බවයි. සෞඛ්‍යය සහ ආරක්ෂාව වැනි පහළ මට්ටමේ අවශ්‍යතා සපුරා ගැනීමෙන්, පුද්ගලයන්ට ආත්ම අභිමානය සහ ස්වයං-සාක්ෂාත් කර ගැනීම (Self-Actualization) වැනි ඉහළ අරමුණු කෙරෙහි අවධානය යොමු කිරීමට මඟ පෑදේ.

කෙසේ වුවද, සෑම මිනිසෙකුම මෙම පියවර අනුපිළිවෙලින්ම (පහළ සිට ඉහළටම) ගමන් කරන්නේ නැත. සමහර පුද්ගලයන් තමන්ගේ කායික අවශ්‍යතා (ආහාර, නිවාස) අවම මට්ටමක තිබුණද, ස්වයං-සාක්ෂාත් කර ගැනීමේ අවශ්‍යතාවයන් වෙනුවෙන් කැපවී ක්‍රියා කරයි. එමෙන්ම, බටහිර රටවල පුද්ගලික දියුණුවට (Individualism) මුල් තැන දුන්නද, ශ්‍රී ලංකාව වැනි ආසියාතික රටවල මිනිසුන් පෞද්ගලික අවශ්‍යතාවලට වඩා පවුල සහ සමාජය (Social / Belongingness Needs) වෙනුවෙන් මුල් තැන දෙනු ලබයි. එවැනි සීමාවන් පැවතුණද, මානව සංවර්ධනයට සහය වීම සඳහා කළමනාකරණය, අධ්‍යාපනය සහ මනෝවිද්‍යාව වැනි ක්ෂේත්‍රවල මෙම න්‍යාය අදටත් බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.

  1. ආශ්‍රිත ග්‍රන්ථ
  • ⁠Maslow, A. H. (1943). A theory of human motivation. Psychological Review, 50(4), 370-396.
  • Oxford Lanka Campus. (2026). Theory of Psychology [Lecture notes].
🔥 Special Offers Limited
Scroll to Top