WHAT IS GESTOLT THEORY…? ( Theory Of Psychology )
01.හැඳින්වීම (Introduction)
මනෝවිද්‍යා ඉතිහාසය දෙස හැරී බැලීමේදී මිනිස් මනස, චිත්තවේග, සංජානනය සහ චර්යාවන් අධ්‍යයනය කිරීම සඳහා විවිධ කාල වකවානුවල විවිධ න්‍යායාත්මක ප්‍රවේශයන් සහ ගුරුකුල (Schools of Thought) බිහි වූ බව පෙනී යයි. 19 වන සියවසේ අගභාගයේ සහ 20 වන සියවසේ මුල් භාගයේදී ලෝක මනෝවිද්‍යා ක්‍ෂේත්‍රය උඩුයටිකුරු කරමින් ප්‍රබල විප්ලවීය බලපෑමක් කිරීමට සමත් වූ සුවිශේෂී මෙන්ම ඓතිහාසික ගුරුකුලයක් ලෙස “ගෙස්ටෝල්ට් මනෝවිද්‍යාව” (Gestalt Psychology) හඳුන්වා දිය හැකිය.
මෙම ගුරුකුලය බිහිවීමට මූලිකම පසුබිම සකස් වූයේ එකල මනෝවිද්‍යා ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛත්වයක් ගෙන තිබූ විල්හෙල්ම් වුන්ඩ්ගේ ව්‍යුහවාදය (Structuralism), විලියම් ජේම්ස්ගේ කාර්යබද්ධවාදය (Functionalism) සහ විශේෂයෙන්ම ජේ. බී. වොට්සන් (J.B. Watson) ප්‍රමුඛ කරගත් ඇමරිකානු චර්යාවාදය (Behaviorism) යන ගුරුකුලවල පැවති විවිධ සීමාවන්, යාන්ත්‍රික ස්වභාවයන් සහ දුර්වලතාවලට විද්‍යාත්මක පිළිතුරු සැපයීමක් වශයෙනි.එකල දැඩි ලෙස ව්‍යාප්ත වී තිබූ චර්යාවාදී ප්‍රවේශය මඟින් මිනිස් චර්යාව සරල “උත්තේජක-ප්‍රතිචාර” සබඳතාවක් දක්වා ලඝු කොට තකා කටයුතු කළ අතර, මිනිසා සතු නිදහස් කැමැත්ත, සංජානනය, චින්තනය සහ අභ්‍යන්තර සංකීර්ණ මානසික ක්‍රියාවලීන් සම්පූර්ණයෙන්ම පාහේ ප්‍රතික්ෂේප කරන ලදී. චර්යාවාදයේ පැවති මෙම රෝබෝවෙකු බඳු යාන්ත්‍රික ස්වභාවයට එරෙහිව නැගී සිටි ජර්මානු මනෝවිද්‍යාඥයන් පිරිසක් පෙන්වා දුන්නේ, මිනිස් මනස සහ හැසිරීම තනි තනි කුඩා කොටස්වලට වෙන් කර කැබලි වශයෙන් හඳුනාගත නොහැකි බවයි. ඔවුන්ට අනුව මිනිස් සංජානනය (Perception) යනු හුදෙක් බාහිරින් ලැබෙන තනි තනි උත්තේජනවල ගණිතමය එකතුවක් පමණක් නො වන බවයි
“ගෙස්ටෝල්ට්” (Gestalt) යනු, ජර්මානු භාෂාවෙන් පැවත එන වචනයක් වන අතර, එහි සිංහල ශාස්ත්‍රීය අර්ථය වන්නේ “හැඩය” (Shape), “ආකෘතිය” (Form) හෝ “සංවිධානය වූ සමස්තය” (Configuration) යන්නයි. මෙම න්‍යායේ මූලිකම දර්ශනය සරලව ප්‍රකාශ වන්නේ මෙලෙසිනි:”සමස්තය යනු එහි අඩංගු තනි කොටස්වල එකතුවට වඩා හාත්පසින්ම වෙනස් වූ ද, ගුණාත්මකව විශාල වූ දෙයකි.” (The whole is greater than the sum of its parts). මෙමඟින් අදහස් කරන්නේ මිනිස් මොළයට සහ මනසට බාහිර පරිසරයෙන් ලැබෙන තොරතුරු, වර්ණ, ශබ්ද හෝ උත්තේජන තනි තනිව වෙන් වෙන් වශයෙන් ග්‍රහණය කරගන්නවා වෙනුවට , ඒවා එකිනෙකට සම්බන්ධ කර අර්ථවත් “සමස්තයක්” ලෙස ස්වාභාවිකවම සංවිධානය කර අර්ථකථනය කිරීමේ සහජ මානසික හැකියාවක් පවතින බවයි. මිනිසා ලෝකය දකින්නේ විසිරුණු තිත් සමූහයක් ලෙස නොව, ඒකාබද්ධ වූ රූප රාමුවක් ලෙසය. .
- ඓතිහාසික පසුබිම සහ විකාශනය (History and Evolution)
ගෙස්ටෝල්ට් මනෝවිද්‍යාවේ ඓතිහාසික මුල් විමසා බැලීමේදී, මෙයට මූලිකම දාර්ශනික සහ “න්‍යායාත්මක” පදනම වැටුණේ 1880 වර්ෂයේදී ඔස්ට්‍රේලියානු ජාතික මනෝවිද්‍යාඥයෙකු වූ ක්‍රිස්ටියන් වෝන් එෆරෙන්ෆෙල්ස් (Christian von Ehrenfels) විසින් ඉදිරිපත් කරන ලද ‘සමස්තය’ (The Whole) පිළිබඳ සංකල්පයෙනි. ඔහු මෙම අදහස ලෝකයට පැහැදිලි කිරීම සඳහා සංගීත ශාස්ත්‍රය උපයෝගී කරගත්තේය. යම් කිසි ගීතයක තනුවක් නිර්මාණය වීම සඳහා සරල ස්වර හතක් (ස, රි, ග, ම, ප, ධ, නි) උපකාරී වේ. මෙම ස්වර හත එකතු වූ තැන අපූර්ව තනුවක් බිහි වුවද, එම තනුව යනු හුදෙක් ස්වර හත එකතු කර සාදන ලද ගණිතමය එකතුවක් පමණක් නොවේ. එම ස්වර හතට අමතරව, අසන්නාගේ සිත තුළ යම් සුවිශේෂී “ගෙස්ටෝල්ට් ගුණයක්” (Gestalt quality) ජනිත වන බවත්, එය සංවිධානය කරගනු ලබන්නේ අසන්නා සතු උසස් මානසික සහ ප්‍රජානන හැකියාවන් තුළින් බවත් එෆරෙන්ෆෙල්ස් පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත්, මෙම අදහස විධිමත් විද්‍යාත්මක මනෝවිද්‍යාත්මක ගුරුකුලයක් ලෙස ලෝකයට දායාද කරන ලද්දේ ජර්මනියේ බර්ලින් පාසල (Berlin School) කේන්ද්‍ර කරගත් ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයන් තිදෙනෙකු විසිනි. ඔවුන් පහත පරිදි විග්‍රහ කළ හැකිය.
- මැක්ස් වර්තනීමර් (Max Wertheimer: 1880 – 1934)
ගෙස්ටෝල්ට් මනෝවිද්‍යාවේ ප්‍රධානතම නිර්මාතෘවරයා සහ පීතෘවරයා ලෙස සැලකේ. 1912 වර්ෂයේදී ඔහු විසින් සොයාගන්නා ලද “Phi Phenomenon” (චලන මායාව) පිළිබඳ පරීක්ෂණය ගෙස්ටෝල්ට් වාදයේ නිල ආරම්භය ලෙස සනිටුහන් වේ. දුම්රිය ස්ථානයක ඇති සංඥා ලාම්පු දෙකක් එකින් එක වේගයෙන් දැල්වී නිවී යන විට , මිනිස් ඇසට පෙනෙන්නේ තනි ආලෝක බින්දුවක් එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට චලනය වන ලෙසයි. මෙහිදී බාහිරව සැබෑ චලනයක් සිදු නොවන නමුත්, මිනිස් මනස විසින් එම උත්තේජන දෙක ඒකාබද්ධ කර “චලනයක්” ලෙස සමස්ත සංජානනයක් නිර්මාණය කරයි.
- කර්ට් කෆ්කා (Kurt Koffka: 1886 – 1941)
කෆ්කා විසින් ගෙස්ටෝල්ට් න්‍යාය ළමා සංවර්ධන මනෝවිද්‍යාවට, සංජානනයට සහ අධ්‍යාපන විද්‍යාවට සාර්ථකව සම්බන්ධ කරන ලදී. ඔහු විසින් රචිත Principles of Gestalt Psychology (1935) නමැති ග්‍රන්ථය හරහා මෙම න්‍යාය ඇමරිකාව ඇතුළු සමස්ත ලෝකය පුරාම ශාස්ත්‍රීය ලෙස ප්‍රචලිත කිරීමට ඔහු සමත් විය.
- වොල්ෆ්ගැන්ග් කෝලර් (Wolfgang Kohler: 1887 – 1967)
කෝලර් විසින් පළමු ලෝක යුද්ධ සමයේදී ටෙනරීෆ් දූපතේදී චිම්පන්සීන් (විශේෂයෙන් ‘සුල්තාන්’ නම් බුද්ධිමත් චිම්පන්සියා) යොදාගෙන සිදුකළ පරීක්ෂණ මනෝවිද්‍යාවේ හැරවුම් ලක්ෂ්‍යයක් විය. කූඩුවක දමා සිටි චිම්පන්සියාට උඩින් එල්ලා තිබූ කෙසෙල් ඇවරිය ලබාගැනීම සඳහා, කූඩුව තුළ තිබූ පෙට්ටි කිහිපයක් එක මත එක තබා උස සකස් කරගැනීමට ඌ සමත් විය. මෙහිදී සත්වයා ඉගෙන ගත්තේ වැරදි වැරදී උත්සාහ කිරීමෙන් (Trial and Error) නොව, ගැටලුවේ සමස්ත ස්වභාවය එකවර වටහා ගැනීමෙන් ඇති වූ ක්ෂණික “අන්තර්ඥානය” (Insight Learning) මඟින් බව කෝලර් ඔප්පු කළේය.
පසුකාලීනව ක්‍ෂේත්‍ර න්‍යාය (Field Theory) හඳුන්වා දුන් කර්ට් ලෙවින් (Kurt Lewin: 1890 – 1947) සහ ගැටලු විසඳීමේ මානසික ක්‍රියාවලීන් මෙන්ම ක්‍රියාකාරී චින්තනය අධ්‍යයනය කළ කාල් ඩන්කර් (Karl Duncker) වැනි ප්‍රාඥයන්ගේ දායකත්වයෙන් මෙම ගුරුකුලය තවදුරටත් පෝෂණය වී වර්ධනය විය.
- චර්යාවාදය සහ ගෙස්ටෝල්ට්වාදය අතර පවතින “න්‍යායාත්මක” ගැටුම
ගෙස්ටෝල්ට් න්‍යායේ සැබෑ ස්වභාවය සහ දර්ශනය වටහා ගැනීමට නම්, එකල ඇමරිකාවේ පැවති චර්යාවාදය සමඟ එහි පැවති න්‍යායාත්මක ප්‍රතිවිරුද්ධතාව තේරුම් ගත යුතුය. ජේ. බී. වොට්සන් සහ බී. එෆ්. ස්කිනර් වැනි චර්යාවාදීන් ප්‍රකාශ කළේ මනෝවිද්‍යාව යනු විද්‍යාවක් බැවින් අධ්‍යයනය කළ යුත්තේ ඇසට පෙනෙන, නිරීක්ෂණය කළ හැකි සහ මැනිය හැකි බාහිර චර්යාවන් (Observable Behavior) පමණක් බවයි. ඔවුන් මිනිස් මනස “කළු පෙට්ටියක්” (Black Box) ලෙස හැඳින්වූ අතර, අභ්‍යන්තර චින්තනය හෝ මනෝභාවයන් අධ්‍යයනය කිරීම විද්‍යාත්මක නොවන බව පවසා ප්‍රතික්ෂේප කළහ.
චර්යාවාදයට අනුව මිනිසා යනු හුදෙක් පරිසරයේ නියතීන්වලට අවනත වන නිශ්චිතවාදී (Determinism) ජීවියෙකි. චර්යාවාදයේ මූලික ආකෘතිය වූයේ Stimulus (උත්තේජකය) Response (ප්‍රතිචාරය) නමුත් ගෙස්ටෝල්ට් මනෝවිද්‍යාඥයන් මෙම යාන්ත්‍රික සහ සත්ත්ව-කේන්ද්‍රීය මතය දැඩි ලෙස හෙළා දකියි. ඔවුන් පෙන්වා දුන්නේ උත්තේජනයක් ලැබුණු සැනින් මිනිසා ස්වයංක්‍රීයව ප්‍රතිචාර දක්වන්නේ නැති බවයි. උත්තේජනය සහ ප්‍රතිචාරය අතර මැද, මිනිස් මනස තුළ එම තොරතුරු “සංවිධානය කිරීමේ සංකීර්ණ ප්‍රජානන ක්‍රියාවලියක්” (Perceptual Organization Process) සක්‍රියව සිදු වේ. එබැවින් ඔවුන් නව ආකෘතියක් ලෝකයට හඳුන්වා දුන්හ. Stimulus (උත්තේජකය) Organization (සංවිධානය) Response (ප්‍රතිචාරය) මෙමඟින් පැහැදිලි වන්නේ මිනිසා යනු බාහිර පරිසරයේ උත්තේජනවලට යටත් වූ අක්‍රිය (Passive) සත්වයකු නොව, තමන් අවට පවතින පරිසරය සක්‍රියව (Active) ග්‍රහණය කරගන්නා, තොරතුරු ප්‍රතිසංවිධානය කරන සහ ස්වාධීන තීරණ ගන්නා උසස් බුද්ධිමත් ජීවියකු බවයි.
- ගෙස්ටෝල්ට් සංවිධාන මූලධර්ම පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහය (Detailed Gestalt Principles of Organization)
මිනිස් මනස විසින් බාහිර පරිසරයෙන් ලැබෙන සංකීර්ණ දෘශ්‍ය උත්තේජන සරල, ස්ථාවර, ක්‍රමවත් සහ අර්ථවත් රටාවන් ලෙස සංවිධානය කරගැනීම සඳහා යොදාගන්නා “සංවිධාන මූලධර්ම” (Principles of Perceptual Organization) කිහිපයක් පවතින බව ගෙස්ටෝල්ට්වාදීහු සොයා ගත්හ.එම මූලධර්ම ශාස්ත්‍රීය වශයෙන් පහත පරිදි දීර්ඝව විග්‍රහ කළ හැකිය.
- සමානතාව පිළිබඳ මූලධර්මය (Principle of Similarity)
දෘශ්‍ය ක්‍ෂේත්‍රය තුළ පවතින වස්තූන්ගේ හැඩය, වර්ණය, ප්‍රමාණය, රටාව හෝ ස්වභාවය එකිනෙකට සමාන වන විට, මිනිස් මොළය ස්වාභාවිකවම එම වස්තූන් එකම කාණ්ඩයකට හෝ එකම ව්‍යුහයකට අයත් දේ ලෙස කාණ්ඩගත කරයි.
අපට විවිධ හැඩතල සහිත වස්තූන් සමූහයක් එකට හමු වූ විට, අප ඒ දෙස බලන්නේ තනි වස්තූන් රැසක් ලෙස නොව, සමාන දේවලින් සැදුම්ලත් පේළි හෝ තීරුවල එකතුවක් ලෙසයි. රවුම් සංකේත සහ කොටු සංකේත මිශ්‍රව පවතින විට, අපගේ සංජානනය විසින් රවුම් පේළි වෙනමත්, කොටු පේළි වෙනමත් වශයෙන් ස්වයංක්‍රීයව වෙන් කර හඳුනා ගනී. මෙම මූලධර්මය මිනිසාට සමාජීය කණ්ඩායම් හඳුනා ගැනීමටද උපකාරී වේ (උදාහරණයකට එකම පාට නිල ඇඳුම් ඇඳ සිටින පිරිසක් එකම කණ්ඩායමක් ලෙස දැකීම).
- ආසන්නතාව පිළිබඳ මූලධර්මය (Principle of Proximity)
අභ්‍යවකාශයේ (Space) හෝ කාලය (Time) තුළ එකිනෙකට ඉතා ආසන්නයෙන් හෝ භෞතිකව ළඟින් පිහිටා ඇති උත්තේජන, එකිනෙකට සම්බන්ධ වූ තනි සමූහයක් (Group) හෝ ඒකකයක් ලෙස දැකීමට අප පෙළඹේ.
වස්තූන් දෙකක් හෝ කිහිපයක් අතර පවතින භෞතික දුර ප්‍රමාණය අඩු වන විට, ඒවා අතර කිසියම් සබඳතාවක් ඇතැයි මනස උපකල්පනය කරයි. උදාහරණයක් ලෙස, තනි තනිව ඇඳ ඇති සිරස් ඉරි කැබලි පවතින විට, ඒවා එකිනෙකට ළඟින් යුගල වශයෙන් තැබුවහොත්, අප ඒවා තනි ඉරි සමූහයක් ලෙස නොව “ඉරි යුගල” (Pairs) කිහිපයක් ලෙස සංජානනය කරයි.
- පූර්ණතාව පිළිබඳ මූලධර්මය (Principle of Closure)
බාහිර පරිසරයේ පවතින යම් දෘශ්‍ය උත්තේජනයක් අසම්පූර්ණව, කොටස් කැඩී හෝ හිඩැස් සහිතව පැවතියද, මිනිස් මනස සතු සංජානන ක්‍රියාවලිය මඟින් එම හිඩැස් ස්වාභාවිකවම පුරවා, එය සම්පූර්ණ අර්ථවත් සංවෘත රූපයක් (Closed Figure) ලෙස ග්‍රහණය කරගනී. මිනිස් මොළය සැමවිටම අසම්පූර්ණත්වයට වඩා පූර්ණත්වයට කැමැත්තක් දක්වයි. තැනින් තැන ඉරි කැබලි කැඩී ගිය, එකිනෙකට නොගැටෙන රේඛාවලින් සමන්විත වටකුරු හැඩයක් දුටු විට, අපගේ මනස එම රේඛා ස්වයංක්‍රීයව යා කර එය “රවුමක්” ලෙසම හඳුනා ගනී. එදිනෙදා ජීවිතයේදී යමෙකු අඩක් පැවසූ වාක්‍යයක් සම්පූර්ණ කර වටහා ගැනීමට අපට හැකිවන්නේ මෙම මූලධර්මය නිසාය.
- සන්තතික බව හෝ අඛණ්ඩතාව පිළිබඳ මූලධර්මය (Principle of Continuity)
දෘශ්‍ය උත්තේජන කිසියම් නිශ්චිත දිශාවකට හෝ ගලා යාමකට අනුව පෙළගැසී ඇති විට, අපගේ මනස එම රේඛාවල සිදුවන හදිසි බිඳීම් හෝ හැරවුම් නොසලකා හරිමින්, එය එක දිගටම ගලා යන සන්තතික රටාවක් හෝ තනි මඟක් ලෙස සංජානනය කිරීමට පෙළඹේ. එක් රේඛාවක් මත තවත් රේඛාවක් ඡේදනය වී ගියද, අපගේ ඇස සහ මනස ගමන් කරන්නේ වඩාත් සුමට, බාධාවලින් තොර අඛණ්ඩ මාර්ගය ඔස්සේය.
- ගෙස්ටෝල්ට් න්‍යායේ මූලික ස්වභාවය සහ ලක්ෂණ (Nature and Attributes of Gestalt Psychology)
ගෙස්ටෝල්ට් මනෝවිද්‍යාවේ මූලික ස්වභාවය අධ්‍යයනය කිරීමේදී, එය සාම්ප්‍රදායික පරමාණුක හෝ මූලද්‍රව්‍යවාදී (Atomistic) ප්‍රවේශයන්ගෙන් සම්පූර්ණයෙන්ම වෙනස් වන ප්‍රධාන ලක්ෂණ කිහිපයක් හඳුනාගත හැකිය.
- ප්‍රපංචවේදීමය ප්‍රවේශය (Phenomenological Approach)
ගෙස්ටෝල්ට්වාදය මිනිස් අත්දැකීම් කෘතිම ලෙස රසායනාගාර තුළ කොටස්වලට කඩා විශ්ලේෂණය කිරීම ප්‍රතික්ෂේප කරයි. ඒ වෙනුවට මිනිසාට අත්දැකීම් ඒ අයුරින්ම (as it appears) දැනෙන්නේ කෙසේදැයි අධ්‍යයනය කරයි.
- සක්‍රීය මනස (Active Mind)
මිනිස් මනස යනු පරිසරයෙන් ලැබෙන තොරතුරු ඒ අයුරින්ම ගබඩා කරන පටිගත කිරීමේ යන්ත්‍රයක් නොවේ. එය තොරතුරු සක්‍රීයව විශ්ලේෂණය කර, ප්‍රතිව්‍යුහගත (Restructure) කරමින් තමන්ගේම අර්ථයන් ගොඩනඟා ගන්නා පද්ධතියකි.
- පූර්ව අත්දැකීම්වල බලපෑම (Role of Past Experiences)
පුද්ගලයෙකුගේ පූර්ව අත්දැකීම්, වර්තමාන මානසික තත්ත්වය, ආකල්ප සහ සන්දර්භය, ඔහු බාහිර ලෝකය සංජානනය කරන ආකාරය කෙරෙහි සෘජුවම බලපාන බව මෙම න්‍යාය පිළිගනී.
- සමස්තය කේන්ද්‍ර කර ගැනීම
ගැටලුවක හෝ පරිසරයක පවතින විවිධ අංග තනි තනිව අධ්‍යයනය කරනවාට වඩා, ඒවා අතර පවතින සංකීර්ණ අන්තර් ක්‍රියාකාරිත්වය කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් කොට සලකයි.
- සිද්ධි අධ්‍යයනය : රූපය සහ පසුබිම පිළිබඳ සබඳතාව (Case Study: Figure-Ground Relationship)
ගෙස්ටෝල්ට් සංජානන න්‍යායේ එන ප්‍රධානතම සහ ප්‍රායෝගිකම සංකල්පයක් වන්නේ “රූපය සහ පසුබිම පිළිබඳ සබඳතාව” (Figure-Ground Relationship) යන්නයි. මිනිසා ඕනෑම දෘශ්‍ය ක්‍ෂේත්‍රයක් දෙස බලන විට, ස්වයංක්‍රීයවම යම් එක් කොටසක් ප්‍රධාන අරමුණ හෙවත් “රූපය” (Figure) ලෙසත්, ඉතිරි කොටස එහි “පසුබිම” (Ground) ලෙසත් වෙන් කර හඳුනා ගනී.
මෙම සංකල්පය ප්‍රායෝගිකව සහ ශාස්ත්‍රීයව පැහැදිලි කිරීම සඳහා මනෝවිද්‍යාවේ භාවිත වන සුප්‍රසිද්ධ සිද්ධි අධ්‍යයනයක් වන ඩෙන්මාර්ක ජාතික Edgar Rubin විසින් හඳුන්වා දුන් “රූබින්ගේ බඳුන” (Rubin’s Vase) නමැති ද්වි-ස්ථාවර රූපය (Ambiguous/Bi-stable Image) යොදාගත හැකිය.
- සිද්ධි අධ්‍යයන විශ්ලේෂණය (Case Analysis)
මෙම සිද්ධි අධ්‍යයනයේදී එකම චිත්‍රය තුළ කළු සහ සුදු වර්ණ සංකලනයෙන් ව්‍යුහයන් දෙකක් අන්තර්ගත කර ඇත. නිරීක්ෂකයෙකු මෙම රූපය දෙස බලන විට සිදු වන මානසික ක්‍රියාවලිය පහත පරිදි වගුගත කළ හැකිය.
- මනෝවිද්‍යාත්මක නිගමනය
මෙම සිද්ධි අධ්‍යයනයෙන් වැදගත් කරුණු කිහිපයක් අනාවරණය වේ.
මිනිස් මනසට එකම නිමේෂයකදී (instant) මුහුණු දෙක සහ බඳුන යන දෙකම “රූප” ලෙස සමානව දැකිය නොහැක.මොළය විසින් එක් වරකට අවධානය යොමු කරන්නේ එකක් සඳහා පමණි. බාහිර පරිසරයේ පවතින උත්තේජකය (කඩදාසිය මත ඇති තීන්ත රටාව) කිසිදු වෙනසකට බඳුන් නොවුණද, පුද්ගලයාගේ අභ්‍යන්තර අවධානය වෙනස් වන විට, ඔහුට ලැබෙන සමස්ත අත්දැකීම සහ අර්ථය හාත්පසින්ම වෙනස් වේ. මෙමඟින් චර්යාවාදීන්ගේ යාන්ත්‍රික මතය බිඳ වැටෙන අතර, සංජානනය යනු මනස විසින් සිදු කරනු ලබන ක්‍රියාකාරී ප්‍රතිසංවිධානයක් බව මනාව ඔප්පු වේ.
- ගෙස්ටෝල්ට් න්‍යායේ ප්‍රායෝගික භාවිතයන් (Practical Applications)
ගෙස්ටෝල්ට් මනෝවිද්‍යාව හුදෙක් පන්ති කාමරවලට හෝ රසායනාගාරවලට පමණක් සීමා වූ න්‍යායක් නොවේ. එය වර්තමානයේ විවිධ ප්‍රායෝගික ක්‍ෂේත්‍රයන්හි බහුලව භාවිත වේ.
- අධ්‍යාපනය සහ ඉගෙනුම් ක්‍රියාවලිය (Education)
සිසුන්ට කරුණු උගන්වන විට මුලින්ම සමස්ත විෂය පථය පිළිබඳ අවබෝධයක් ලබා දී (Global Picture), පසුව එහි අනු කොටස් විශ්ලේෂණය කිරීම වඩාත් සාර්ථක බව මෙමඟින් පෙන්වා දෙයි. මෙය “සමස්තයෙන් කොටසට” (Whole to Part) ඉගැන්වීමේ ක්‍රමයයි. එමෙන්ම ගුරුවරුන් විසින් පාඩම් සැලසුම් කිරීමේදී කරුණු එකිනෙකට ළඟින් (Proximity) සහ සමානත්වයෙන් (Similarity) ගොනු කර ඉදිරිපත් කිරීම සිසුන්ගේ මතකය වර්ධනය වීමට හේතු වේ.
- ග්‍රැෆික් නිර්මාණකරණය සහ වෙළඳ දැන්වීම් (Graphic Design)
වර්තමානයේ ලෝක ප්‍රකට සමාගම්වල වෙළඳ නාම (Logos) සහ වෙබ් අඩවි නිර්මාණයේදී ගෙස්ටෝල්ට් මූලධර්ම (සමානතාව, ආසන්නතාව, පූර්ණතාව) අනිවාර්යයෙන්ම භාවිත වේ. මිනිස් ඇසට සහ මොළයට ඉතා පහසුවෙන්, අවම වෙහෙසකින් ආකර්ෂණය කරගත හැකි දෘශ්‍ය නිමැවුම් බිහි කිරීමට මෙමඟින් මඟ පෙන්වයි.
- ගෙස්ටෝල්ට් මනෝචිකිත්සාව සහ උපදේශනය (Gestalt Therapy)
ෆ්‍රිට්ස් පර්ල්ස් (Fritz Perls) විසින් හඳුන්වා දුන් මෙම චිකිත්සා ක්‍රමයේදී , පුද්ගලයාගේ අතීත බිඳුණු අත්දැකීම් (Unfinished Business) වර්තමානය (Here and Now) තුළ සමස්තයක් ලෙස ඒකාබද්ධ කර, පුද්ගලයා සතු ස්වයං-අවබෝධය සහ මානසික සුවය ලබා දීමට කටයුතු කරයි. මෙහිදී සේවාදායකයා තමන්ගේ ගැටලුවල කොටස් දෙස නොව, තමන්ගේ සමස්ත පෞරුෂය දෙස බැලීමට හුරු කරවයි.
- නිගමනය (Conclusion)
සාරාංශයක් ලෙස ගත් කල, ගෙස්ටෝල්ට් මනෝවිද්‍යා න්‍යාය යනු මිනිස් මනස සතු සංවිධානාත්මක ශක්තිය සහ ස්වාභාවික බුද්ධිමය ස්වභාවය ලෝකයට කියා පෑ අගනා මනෝවිද්‍යාත්මක ප්‍රවේශයකි. මිනිසා බාහිර ලෝකය දකින්නේ හුදෙක් විසිරුණු, අර්ථ විරහිත තොරතුරු කැබලිවල එකතුවක් ලෙස නොව, හැඩයකින් සහ ක්‍රමවේදයකින් යුත් අර්ථවත් සමස්තයක් ලෙස බව මෙම න්‍යාය මඟින් සාක්ෂි සහිතව තහවුරු කෙරේ.
චර්යාවාදයේ පැවති දැඩි යාන්ත්‍රික, සත්ත්ව-කේන්ද්‍රීය සහ සීමිත රාමුව බිඳ දමමින් බිහි වූ ගෙස්ටෝල්ට් ගුරුකුලය, පසුකාලීනව මිනිස් චින්තනය, මතකය, ප්‍රඥාව, ගැටලු විසඳීම සහ භාෂා සංවර්ධනය පිළිබඳව විද්‍යාත්මකව හදාරන ප්‍රජානන මනෝවිද්‍යාවේ (Cognitive Psychology) මහා වර්ධනයට සහ විකාශනයට ප්‍රබලතම මාවත සකස් කළේය. එබැවින්, නූතන මනෝවිද්‍යාව, අධ්‍යාපනය සහ උපදේශන ක්‍ෂේත්‍රය සාර්ථකව වටහා ගැනීම සහ ප්‍රායෝගිකව යෙදවීම සඳහා ගෙස්ටෝල්ට් න්‍යාය පිළිබඳව හැදෑරීම අත්‍යවශ්‍ය මෙන්ම අතිශය වැදගත් කාර්යයකි.
- ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය (References)
අබේපාල, ආර්. (2010). අධ්‍යාපනයේ මනෝවිද්‍යාත්මක පදනම. සාර ප්‍රකාශකයෝ.
Encyclopedia Britannica. (n.d.). Gestalt psychology. [https://www.britannica.com](https://www.britannica.com)
Simply Psychology. (n.d.). Gestalt psychology principles. [https://www.simplypsychology.org](https://www.simplypsychology.org)