මනෝවිද්‍යාව, පෞරුෂය සහ ඒවා අතර පවතින සබැඳියාව පිළිබඳ හැඳින්වීම.
මනෝවිද්‍යාව (Psychology) යනු,
මිනිසාගේ මනස සහ හැසිරීම පිළිබඳව විද්‍යාත්මක ක්‍රමවේදයන් ඔස්සේ හදාරනු ලබන පුළුල් විෂය ක්ෂේත්‍රයකි. මිනිස් ක්‍රියාකාරකම්, සිතුවිලි, හැඟීම්, තීරණ ගැනීම් සහ විවිධ සමාජයීය අන්තර්ක්‍රියා පිටුපස පවතින මූලික හේතු සාධක හා නියමයන් තේරුම් ගැනීම මෙම විෂයෙහි ප්‍රධාන අරමුණ වේ. මිනිස් හැසිරීම් ඉතා සංකීර්ණ වන අතර, එම හැසිරීම් හැඩගැස්වීමෙහිලා පුද්ගලයා සතු අභ්‍යන්තර ලක්ෂණ මෙන්ම බාහිර පරිසරය ද එකසේ බලපානු ලබයි. මනෝවිද්‍යාත්මක සංකල්ප භාවිත කරමින් පුද්ගල ජීවිතයේ සිදුවීම් සහ විවිධ හැසිරීම් රටාවන් විග්‍රහ කර ගැනීම තුළින් මානව අන්තර් සබඳතා වර්ධනය කර ගැනීමටත්, මානසික සෞඛ්‍යය නංවාලීමටත් මහඟු පිටුවහලක් ලැබේ. නූතන සමාජය තුළ මානව ගැටලු වටහා ගැනීමට මනෝවිද්‍යාත්මක ප්‍රවේශයන් අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්ව ඇත.
පෞරුෂය (Personality) යනු,
මනෝවිද්‍යාව තුළ සාකච්ඡා කෙරෙන අතිශය වැදගත් සහ මූලිකම සංකල්පයකි. පෞරුෂය පිළිබඳ අධ්‍යයනයේ ඉතිහාසය දෙස බැලීමේදී එහි මූලාරම්භය පුරාණ ග්‍රීක ඉතිහාසය දක්වා දිවයයි. ඉංග්‍රීසි භාෂාවේ එන “Personality” යන වචනය බිහිවී ඇත්තේ ලතින් භාෂාවේ “Persona” යන වචනයෙනි. ලතින් භාෂාවෙන් “Persona” යන්නෙහි සරල අර්ථය “වෙස්මුහුණ” (Mask) යන්නයි. පුරාණ ග්‍රීක නාට්‍යකරුවන් වේදිකාව මත විවිධ චරිත නිරූපණය කිරීම සඳහා මෙම වෙස්මුහුණු භාවිත කරන ලදී. කෙසේ නමුත්, නූතන මනෝවිද්‍යාව තුළ පෞරුෂය යනු හුදෙක් බාහිරින් පෙනෙන වෙස්මුහුණක් පමණක් නොවේ. එයින් අදහස් කරන්නේ පුද්ගලයෙකු සතු නිරීක්ෂණය කළ හැකි බාහිර හැසිරීම් මෙන්ම, එම හැසිරීම්වලට පදනම සපයන අභ්‍යන්තර මනෝවිද්‍යාත්මක ලක්ෂණවල සමස්ත සංකලනයයි. ඒ අනුව, සෑම පුද්ගලයෙකුටම අනන්‍ය වූ අවශ්‍යතා, ආශාවන්, රුචි අරුචිකම්, සිතුවිලි සහ හැඟීම් මාලාවක් පවතින අතර ඒවා බාහිර හැසිරීම් තුළින් ප්‍රකාශයට පත්වේ. පෞරුෂය මඟින් පුද්ගලයෙකුගේ චර්යාවේ ස්ථායීතාවය සහ අද්විතීයභාවය නිරූපණය කෙරේ.
මනෝවිද්‍යාව සහ පෞරුෂය අතර පවතින සබැදියාව,
මනෝවිද්‍යාව සහ පෞරුෂය අතර පවතින්නේ වෙන් කළ නොහැකි සමීප සබැඳියාවකි. මනෝවිද්‍යාව මඟින් මිනිස් හැසිරීම් පොදුවේ අධ්‍යයනය කරන විට, පෞරුෂය මඟින් එම හැසිරීම් එක් එක් පුද්ගලයාට අනුව වෙනස් වන්නේ කෙසේද යන්න පැහැදිලි කරයි.
මනෝවිද්‍යාඥ ගෝල්ඩන් ඕල්පෝට් (Gordon Allport) පෙන්වා දෙන පරිදි, පෞරුෂය යනු “පුද්ගල අභ්‍යන්තරය තුළ ගතික ලෙස සංවිධානය වී තිබෙන මනෝශාරීරික පද්ධතීන් මඟින් පුද්ගලයා පරිසරයට අද්විතීය ලෙස සකස් කර තිබෙන ගතික සංවිධානයයි.” එබැවින්, පුද්ගලයෙකු විවිධ අවස්ථාවලදී ක්‍රියා කරන්නේ මන්ද, ඔවුන් සිතන්නේ සහ හැඟෙන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමට නම් මනෝවිද්‍යාත්මක පෞරුෂ න්‍යායන් අධ්‍යයනය කිරීම අත්‍යවශ්‍ය වේ.
පෞරුෂය යනු, තනි, ස්ථාවර දෙයක් නොව, එකිනෙකට වෙනස් කොටස් රාශියක එකතුවක් (Psychological Chimera) ලෙස හැඳින්විය හැක්කේ ද මේ නිසාය. පුද්ගල වර්ධනයේදී ජානමය බලපෑම සහ පාරිසරික අත්දැකීම් එකිනෙක අන්තර්ක්‍රියා කරමින් පෞරුෂය නමැති සංකීර්ණ ව්‍යුහය නිර්මාණය කරනු ලබයි.
02.සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේෂණ න්‍යාය (Psychoanalytic Theory)
මිනිස් පෞරුෂය සහ හැසිරීම් තේරුම් ගැනීම සඳහා ලොව පුරා බහුලවම භාවිත වන සහ වඩාත්ම සාකච්ඡාවට බඳුන් වූ න්‍යාය වන්නේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් (Sigmund Freud) විසින් ඉදිරිපත් කරන ලද මනෝවිශ්ලේෂණ න්‍යායයි. ෆ්‍රොයිඩ් විශ්වාස කළේ මානව හැසිරීම් කෙරෙහි පුද්ගලයාගේ සවිඥානික මනසට වඩා අවිඥානික මනස (Unconscious Mind) තුළ පවතින බලවේගයන්, යටපත් කරන ලද ආශාවන් සහ කුඩා කල ලැබූ කම්පනකාරී අත්දැකීම් තීරණාත්මක ලෙස බලපාන බවයි.
- න්‍යායේ ප්‍රධාන අදහස් සහ ව්‍යුහය
ෆ්‍රොයිඩ්ට අනුව මිනිස් පෞරුෂය ප්‍රධාන ව්‍යුහයන් තුනකින් සමන්විත වේ. මෙම ව්‍යුහයන් ත්‍රිත්වය නිරන්තරයෙන් එකිනෙකා සමඟ අන්තර්ක්‍රියා කරමින් පුද්ගල චර්යාව තීරණය කරයි:
- id (ඉඩ් / ප්‍රාථමික මනස): මෙය පුද්ගලයා උපතින්ම රැගෙන එන කොටසයි. එය සම්පූර්ණයෙන්ම අවිඥානික මට්ටමක පවතින අතර “සුඛ ප්‍රතිපත්තිය” (Pleasure Principle) මත ක්‍රියා කරයි. බඩගින්න, පිපාසය, ලිංගික ආශාවන් (Libido) සහ ආක්‍රමණශීලී උත්තේජනයන් (Thanatos) වැනි මූලික ජීව විද්‍යාත්මක අවශ්‍යතා කිසිදු ප්‍රමදයකින් තොරව, වහාම ඉටු කර ගැනීමට id උත්සාහ කරයි. එයට සමාජ සදාචාරයක්, තර්කයක්, කාලය පිළිබඳ හැඟීමක් හෝ ඉවසීමක් නොමැත.
- Ego (ඉගෝ / සවිඥානික මනස): මෙය පෞරුෂයේ පවතින තර්කානුකූල, ප්‍රායෝගික සහ සවිඥානික කොටසයි. එය “යථාර්ථ ප්‍රතිපත්තිය” (Reality Principle) මත ක්‍රියා කරයි. id හි පවතින අතාර්කික ආශාවන් බාහිර සමාජ පරිසරයට හානි නොවන පරිදි, සමාජය පිළිගන්නා ප්‍රායෝගික සහ ආරක්ෂිත ක්‍රමවේද ඔස්සේ ඉටු කර දීමට Ego මැදිහත් වේ. Ego විසින් බාහිර ලෝකය සහ අභ්‍යන්තර ආශාවන් අතර මධ්‍යස්ථකරුවෙකු ලෙස ක්‍රියා කරනු ලබයි.
- Super Ego (සුපිරි ඉගෝ / සදාචාරාත්මක මනස): මෙය සමාජයෙන්, දෙමාපියන්ගෙන්, ආගමෙන් සහ සංස්කෘතියෙන් කුඩා කල සිට ඉගෙන ගන්නා සදාචාරාත්මක වටිනාකම්, නීති රීති, පරමාදර්ශ සහ හෘද සාක්ෂිය නියෝජනය කරයි. එය සෑම විටම පරිපූර්ණත්වය සහ සදාචාරය අපේක්ෂා කරයි. පුද්ගලයා වැරදි හෝ සමාජ විරෝධී ක්‍රියාවල නිරත වන විට හෝ එවැනි සිතුවිලි ඇති වන විට, Super Ego විසින් පුද්ගලයා තුළ දැඩි වරදකාරී හැඟීමක් (Guilt) සහ ලැජ්ජාවක් ඇති කරමින් ඔහුව පාලනය කරයි.
- 0 මනසෙහි ස්ථර සහ පෞරුෂ වර්ධනය පැහැදිලි කරන ආකාරය
ෆ්‍රොයිඩ් මනස අයිස්බර්ග් (Iceberg) එකකට හෝ ග්ලැසියරයකට සමාන කළේය. එහි ජලයෙන් මතුපිටට පෙනෙන කුඩා කොටස සවිඥානික මනස (Conscious) වන අතර, ජලයට මඳක් යටින් පවතින කොටස උපවිඥානික මනස (Preconscious) වේ. නමුත් මනසෙහි බහුතරයක් කොටස, එනම් ජලයට යටින් පවතින විශාලතම කොටස වන්නේ අවිඥානික මනසයි (Unconscious). පුද්ගලයාට සිතාමතා සිහිපත් කළ නොහැකි සියලුම අමිහිරි මතකයන්, ලැජ්ජාශීලී සිදුවීම් සහ සමාජය ප්‍රතික්ෂේප කරන ලිංගික හා ආක්‍රමණශීලී ආශාවන් ගබඩා වී පවතින්නේ මෙම අවිඥානය තුළයි.
- මනෝලිංගික සංවර්ධන අවධීන් (Psychosexual Stages)
ෆ්‍රොයිඩ්ගේ න්‍යායට අනුව පෞරුෂ වර්ධනය මූලික වශයෙන් සිදුවන්නේ ළමා කාලයේදීය. ඔහු ඉදිරිපත් කළ මනෝලිංගික සංවර්ධන අවධීන් (Psychosexual Stages) පහක් ඔස්සේ දරුවෙකු වර්ධනය වේ.
- මුඛ අවධිය (Oral Stage: උපතේ සිට වසර 1 දක්වා)
- ගුද අවධිය (Anal Stage: වයස අවුරුදු 1 – 3)
- ලිංගරූප අවධිය (Phallic Stage: වයස අවුරුදු 3 – 6)
- නිලීන අවධිය (Latency Stage: වයස අවුරුදු 6 සිට වැඩිවිය පැමිණීම දක්වා)
- ලිංගික අවධිය (Genital Stage: වැඩිවිය පැමිණීමේ සිට ඉදිරියට)
මෙම එක් එක් අවධිය තුළ ලබන අත්දැකීම් සහ තෘප්තිමත් වීම් වැඩිහිටි පෞරුෂය හැඩගැස්වීමට සෘජුවම බලපායි. ළමා කාලයේදී මුහුණ දීමට සිදුවන කම්පනකාරී අත්දැකීම්, පීඩාවන් හෝ යම් අවධියකදී අවශ්‍යතා නිසි ලෙස ඉටු නොවීම හෝ ඕනෑවට වඩා තෘප්තිමත් වීම (Fixation / බද්ධ වීම) හේතුවෙන් වැඩිහිටි වියේදී අසාමාන්‍ය හැසිරීම් රටාවන්, මානසික රෝග සහ පෞරුෂ දුර්වලතා මතු විය හැකි බව මනෝවිශ්ලේෂණයේදී අවධාරණය කෙරේ.
- අවිඥානික ක්‍රියාවලීන්, කාංසාව සහ ආරක්ෂණ ප්‍රයෝගවල භූමිකාව
ෆ්‍රොයිඩ් පෙන්වා දෙන්නේ Ego මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය වන්නේ id හි පවතින අතාර්කික, සදාචාර විරෝධී ආශාවන් සහ Super Ego හි පවතින දැඩි, නම්‍යශීලී නොවන සදාචාරාත්මක සීමාවන් අතර සමතුලිතතාවය පවත්වා ගැනීම බවයි. මෙම ව්‍යුහයන් දෙක අතර ඇති වන නිරන්තර ගැටුම නිසා පුද්ගලයා තුළ දැඩි මානසික ආතතියක් හෝ කාංසාවක් (Anxiety) හටගනී.
මෙම ආතතියෙන් සහ මානසික පීඩාවෙන් සවිඥානික මනස (Ego) ආරක්ෂා කර ගැනීම සඳහා Ego විසින් අවිඥානිකව “ආරක්ෂණ ප්‍රයෝග” (Defense Mechanisms) භාවිත කරනු ලබයි. මේවා තාවකාලිකව පුද්ගලයාගේ මානසික සමතුලිතතාවය රැක දෙන නමුත්, යථාර්ථය විකෘති කර පෙන්වීමට ක්‍රියා කරයි. එවැනි ආරක්ෂණ ප්‍රයෝග කිහිපයක් පහත පරිදි විග්‍රහ කළ හැකිය:
- මර්දනය (Repression) – තමන්ට දරාගත නොහැකි, පීඩාකාරී හෝ කම්පනකාරී අත්දැකීම් සහ සිතුවිලි සවිඥානික මනසින් බලහත්කාරයෙන් අවිඥානික මනස වෙත තල්ලු කර දැමීමයි. මෙය සියලු ආරක්ෂණ ප්‍රයෝගවල පදනම වේ.
- තර්කාපනය (Rationalization) – තමන් අතින් සිදුවන වැරදි, දුර්වලතා හෝ අසාර්ථකත්වයන් වසා ගැනීම සඳහා සමාජය පිළිගත හැකි ආකාරයේ තාර්කික යැයි හැඟෙන ව්‍යාජ හේතු හෝ සාධාරණීකරණයන් ඉදිරිපත් කිරීම මෙයින් අදහස් වේ.
- ආක්‍රමණය සහ විස්ථාපනය (Displacement & Aggression) – තමන්ට වඩා බලවත් පුද්ගලයෙකු නිසා (උදා: රැකියා ස්ථානයේ ප්‍රධානියා) ඇතිවන කෝපය හෝ අභ්‍යන්තර පීඩනය, තමන්ට වඩා දුර්වල වෙනත් බාහිර පුද්ගලයන් (උදා: බිරිඳ හෝ දරුවන්) හෝ ද්‍රව්‍ය මත රණ්ඩු සරුවල් කිරීම් සහ ප්‍රචණ්ඩකාරී හැසිරීම් හරහා පිට කිරීමයි.
- පලායාම / මඟහැරීම (Avoidance/Escape) – තමන්ට අපහසු, අසීරු හෝ තමන් තුළ බියක් සහ කාංසාවක් උපදවන අභියෝගාත්මක අවස්ථාවලට මුහුණ දීමට ඇති අකමැත්ත නිසා එම අවස්ථාවලින් භෞතිකව හෝ මානසිකව සම්පූර්ණයෙන්ම ඉවත් වී සිටීමට උත්සාහ කිරීමයි.
- ප්‍රක්ෂේපණය (Projection) – තමන් තුළ පවතින අකමැති හෝ සමාජ විරෝධී ආශාවන් සහ වැරදි සිතුවිලි, තමන් සතු දේ ලෙස නොදැක අන් අය තුළ පවතින දේ ලෙස ලේබල් කිරීමයි (උදා: තමන් තුළ වෛරයක් තබාගෙන අනෙකා තමන්ට වෛර කරන බව පැවසීම).
- න්‍යායේ ශක්තීන් සහ දුර්වලතා
ඕනෑම විද්‍යාත්මක හෝ මනෝවිද්‍යාත්මක න්‍යායක මෙන්ම මනෝවිශ්ලේෂණ ප්‍රවේශය තුළ ද ශක්තීන් මෙන්ම සීමාවන් පවතී.
ශක්තීන්:
මිනිස් හැසිරීම් පිටුපස පවතින අවිඥානික අභිප්‍රේරණයන් සහ ළමා කාලයේ අත්දැකීම්වල බලපෑම ඉතා ගැඹුරින් විග්‍රහ කිරීමට මෙම න්‍යායට හැකි වී තිබේ. ළමා කාලය පුද්ගල පෞරුෂයේ පදනම බව ලොවට පෙන්වා දුන්නේ මෙම න්‍යායයි.
මානසික ආතතිය පාලනය කර ගැනීමට මිනිසුන් ආරක්ෂණ ප්‍රයෝග භාවිත කරන ආකාරය පැහැදිලි කිරීම සහ නිදහස් සංගටනය (Free Association), සිහින විශ්ලේෂණය (Dream Analysis) වැනි ක්‍රමවේද හරහා නූතන මනෝචිකිත්සක ප්‍රතිකාර (Psychotherapy) සඳහා මෙම න්‍යාය විශාල විප්ලවීය දායකත්වයක් සපයා ඇත.
දුර්වලතා:
විද්‍යාත්මක පරීක්ෂණ අඩුවීම – ෆ්‍රොයිඩ්ගේ මූලික සංකල්ප (id, Ego, Super Ego) උපකල්පන මත පදනම් වූ ඒවා වන අතර ඒවා ප්‍රායෝගිකව නිරීක්ෂණය කිරීමට හෝ විද්‍යාත්මකව පරීක්ෂණාගාර තුළ ප්‍රමාණාත්මකව මැනීමට හා ඔප්පු කිරීමට අපහසුය.
ජීව විද්‍යාත්මක සාධකවලට පමණක් බර තැබීම: ඔහු මිනිස් පෞරුෂය තීරණය කිරීමේදී ලිංගිකත්වයට (Libido) සහ සහජ ජීව විද්‍යාත්මක සාධකවලට පමණක් ඕනෑවට වඩා බර තබා ඇති අතර, පුද්ගල වර්ධනයට බලපාන සමාජයීය, සංස්කෘතික සහ සංජානනීය සාධක බොහෝ දුරට නොසලකා හැර ඇති බවට නියෝ-ෆ්‍රොයිඩියානු (Neo-Freudians) විද්වතුන්ගෙන් පවා දැඩි විවේචන පවතී.
- ප්‍රායෝගික භාවිතය සිද්ධි අධයනයක් මගින්
“වමිඳු” නමැති පුද්ගලයාගේ හැසිරීම න්‍යාය ඇසුරින් විශ්ලේෂණය කිරීම
ලබා දී ඇති සිද්ධි අධ්‍යයනයට (Case Study) අනුව, වමිඳු යනු 22 හැවිරිදි විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකි. ඔහුගේ වර්තමාන පෞරුෂ දුර්වලතා සහ හැසිරීම් රටාවන් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේෂණ සංකල්ප ඇසුරින් පහත පරිදි සවිස්තරාත්මකව විශ්ලේෂණය කළ හැකිය.
අතීත කම්පනය සහ අවිඥානික මර්දනය (Trauma & Repression)
වමිඳු කුඩා කාලයේදී පාසලේ පන්තිය ඉදිරියට ගොස් කතා කිරීමට යාමේදී වචනයක් වැරදීම නිසා පන්තියේ අනෙක් සිසුන්ගේ දැඩි සමච්චලයට, සිනහවට හා අපහාසයට ලක් විය. මෙය කුඩා දරුවෙකු ලෙස ඔහුට දරාගත නොහැකි වූ, ස්වයං-අභිමානය බිඳ දැමූ කම්පනකාරී අත්දැකීමකි (Traumatic Experience). ෆ්‍රොයිඩ්ට අනුව, වමිඳුගේ Ego ව්‍යුහය විසින් මෙම දැඩි ලැජ්ජාශීලී සහ පීඩාකාරී මතකය සවිඥානික මනසින් ඉවත් කර, ඔහුගේ අවිඥානික මනස තුළ තදින් තැන්පත් කර (Repression / මර්දනය කර) ඇත. එම මතකය සවිඥානිකව අමතක වී ඇති බවක් පෙනුන ද, එය අවිඥානය තුළ සක්‍රියව පවතිමින් ඔහුගේ වර්තමාන හැසිරීම් පාලනය කරයි.
වර්තමාන කාංසාව සහ පෞරුෂ ව්‍යුහයන් අතර ගැටුම (Anxiety & Structural Conflict)
දැන් 22 හැවිරිදි තරුණයෙකු ලෙස වමිඳු විශ්වවිද්‍යාලයේදී Presentations (දේශන ඉදිරිපත් කිරීම්) කිරීමට ඇති අවස්ථාවලදී දැඩි බියකට, තැතිගැන්මකට හා කාංසාවකට (Anxiety) පත්වේ. මෙයට හේතුව Presentation එකක් කිරීමට යාමේදී, අතීතයේ අවිඥානයේ සැඟව තිබූ “නැවතත් නින්දාවට පත්වේවිද” යන බිය සවිඥානක මනසට පැමිණීමට උත්සාහ කිරීමයි. මෙහිදී වමිඳුගේ අභ්‍යන්තර පෞරුෂ ව්‍යුහයන් තුන අතර දැඩි ගැටුමක් නිර්මාණය වේ:
- id ව්‍යුහය – පීඩාකාරී අවස්ථාවෙන් සහ කාංසාවෙන් වහාම ගැලවී තාවකාලික සුවයක් සෙවීමට බල කරයි. එනම් “Presentation එක නොකර මඟහැර සිටිම” යන්න id හි ඉල්ලීමයි.
- Super Ego ව්‍යුහය – සමාජීය වගකීම් සහ පරමාදර්ශී ශිෂ්‍යයෙකුගේ ලක්ෂණ සිහිපත් කරයි. ” විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්, ලකුණු ලබාගන්න නම් මේ Presentation එක අනිවාර්යයෙන්ම කළ යුතුමයි” යනුවෙන් සදාචාරාත්මක නීතියක් පනවයි.
- Ego ව්‍යුහය – මෙම ව්‍යුහයන් දෙක අතර මැදිවන Ego එකට පවත්නා තත්ත්වය තුළ තාර්කික සමතුලිතතාවයක් ඇති කර ගැනීමට නොහැකි වන අතර, කාංසාව උත්සන්න වේ. එහිදී තමන්ගේ මානසික බිඳවැටීම වළක්වා ගැනීමට Ego විසින් විවිධ ආරක්ෂණ ප්‍රයෝග (Defense Mechanisms) අවිඥානිකව ක්‍රියාත්මක කරවනු ලබයි.
- වමිඳු භාවිත කරන ආරක්ෂණ ප්‍රයෝග (Defense Mechanisms used by Wamindu)
- තර්කාපනය (Rationalization) – වමිඳු “මට මේක ඉදිරිපත් කරන්න බැරි මගේ බය හින්දා නෙවෙයි, මේ Presentation මාතෘකාව හරියට තේරුම් ගන්න අපහසු නිසයි. මේක සංකීර්ණ වැඩියි” යනුවෙන් තමන්ටම සහ බාහිර සමාජයට ව්‍යාජ සාධාරණීකරණයක් ඉදිරිපත් කරයි. මේ හරහා ඔහු තමන් තුළ පවතින සැබෑ පොදු සමාජ භීතිකාව (Social Phobia) සහ දුර්වලතාවය වසා ගනිමින් තමන්ගේ ආත්ම අභිමානය තාවකාලිකව ආරක්ෂා කර ගැනීමට උත්සාහ කරයි.
- විස්ථාපනය සහ ආක්‍රමණය (Displacement & Aggression) – Presentation එක කිරීමට ඇති බිය, ලැජ්ජාව සහ කාංසාව නිසා වමිඳු තුළ විශාල අභ්‍යන්තර පීඩනයක් හා කෝපයක් (Frustration) හටගනී. විශ්වවිද්‍යාලයේදී කවුරුත් ඉදිරියේ එම කෝපය පිට කිරීමට නොහැකි වන ඔහු, නිවසට ගිය පසු කිසිදු වරදක් නොමැති තමන්ගේ මව සමඟ සුළු දේටත් රණ්ඩු වීම, කෑගැසීම හෝ බැන වැදීම වැනි ආක්‍රමණශීලී හැසිරීම් රටාවක් පෙන්වයි. මෙහිදී සිදුවන්නේ විශ්වවිද්‍යාලය කෙරෙහි ඇති වූ කෝපය, වඩාත් ආරක්ෂිත ඉලක්කයක් වන මව වෙත විස්ථාපනය (Displace) කිරීමයි.
- පලායාම / මඟහැරීමේ චර්යාව (Avoidance Behavior) – අවසානයේදී id හි බලපෑම සහ ආරක්ෂණ ප්‍රයෝගවල උපරිම ප්‍රතිඵලයක් ලෙස, වමිඳු Presentation එක තිබෙන දිනයේදී විශ්වවිද්‍යාලයට යාමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටියි. ඔහු බොරු අසනීප නිවාඩු හෝ ව්‍යාජ හේතු දක්වමින් නිවසට වී සිටීමට තීරණය කරන්නේ එම අභියෝගාත්මක සහ පීඩාකාරී ස්ථානයෙන් භෞතිකවම පලායාම සඳහාය.
- මෙලෙස මනෝවිශ්ලේෂණ න්‍යාය ඇසුරින් බලන කල, වමිඳුගේ වර්තමාන අසාමාන්‍ය හැසිරීම් රටාවන් යනු හුදෙක් කම්මැලි කම හෝ අකීකරුකම නොව, ඔහුගේ අතීත කම්පනය (Childhood Trauma) සහ අවිඥානික ආරක්ෂණ ප්‍රයෝග ක්‍රියාත්මක වීමේ සෘජු ප්‍රතිඵලයක් බව මැනවින් පැහැදිලි වේ.
09.නිගමනය
මනෝවිද්‍යාව තුළ පෞරුෂය අධ්‍යයනය කිරීම මිනිස් හැසිරීම්වල විවිධත්වය සහ සංකීර්ණත්වය තේරුම් ගැනීමේ මූලිකම සහ වැදගත්ම පියවර වේ. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේෂණ න්‍යාය මඟින් මිනිසාගේ අභ්‍යන්තර මනස, අතීත අත්දැකීම්, අවිඥානික බලවේග සහ ආරක්ෂණ ප්‍රයෝග ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ඉතා පුළුල් මෙන්ම විග්‍රහාත්මක ප්‍රවේශයක් සපයා ඇත.
වමිඳුගේ සිදුවීම වැනි සැබෑ ජීවිතයේ ගැටලුවලට සහ චිත්තවේගීය ආතතීන්ට මුහුණ දෙන පුද්ගලයන්ගේ හැසිරීම් රටාවන් පිටුපස ඇති සැබෑ මූලාශ්‍ර තේරුම් ගැනීමටත්, ඔවුන් පත්වන මානසික පීඩාවන්ගෙන් මුදවා ගැනීමට නිවැරදි උපදෙස්කරණය (Counseling) හෝ මනෝචිකිත්සක ප්‍රතිකාර ලබා දීමටත් මෙවැනි මනෝවිද්‍යාත්මක පෞරුෂ න්‍යායන් ප්‍රායෝගිකව භාවිත කිරීම අත්‍යවශ්‍ය වේ. පෞරුෂය යනු ස්ථාවර ඒකකයක් නොව, බාහිර පරිසරය මෙන්ම අභ්‍යන්තර මනෝවිද්‍යාත්මක සාධකවල සංකීර්ණ සම්මිශ්‍රණයක ප්‍රතිඵලයකි.
10.ආශ්‍රිත ග්‍රන්ථ
Allport, G. W. (1937). Personality: A psychological interpretation. Holt, Rinehart & Winston.
Freud, S. (1923). The ego and the id. W. W. Norton & Company.
Freud, S. (1920). Beyond the pleasure principle. International Psycho-Analytical Editorial Office.
Oxford Lanka Campus. (2026). Introduction to psychology of personality: Lecture notes on Sigmund Freud’s theory [Lecture notes].
අපූරු ඉස්කෝලේ – දැනුමෙන් ජීවිතය තේරුම් ගනිමු.
📚 තවදුරටත් ඉගෙන ගන්න
මෙම කරුණ පිළිබඳව තවදුරටත් ගැඹුරින් ඉගෙන ගන්න Apooru Iskole Professional Courses සමඟ එක්වන්න.
🎨 Art Therapy Courses – Art Therapy පිළිබඳ ප්‍රායෝගික දැනුම සහ ක්‍රියාකාරකම් සමඟ ඉගෙන ගන්න.
🎭 Role Play & Case Study Training – සැබෑ අවස්ථා ආශ්‍රිත Case Studies සහ Role Play මඟින් ප්‍රායෝගික කුසලතා වර්ධනය කරගන්න.
💻 LMS Learning – පාඩම්, වීඩියෝ සහ අධ්‍යයන සම්පත් සමඟ Online Learning වෙත එක්වන්න.
👉 [Art Therapy Courses] | [Role Play & Case Study Courses] | [Students LMS එකට Join වන්න]
Apooru Iskole – දැනුමෙන් වෘත්තියක්.